26 November 2011

මගේ ජීවිතය

සීතල කුටියක පහස විඳ
කැරකෙන පුටුවක වැතිර හිද
අඟල් දාහතකට මුළු ජීවිතය පුද
තිරයට එපිට ලොවක් තියෙනවද?



----------------------------------------------------------------------
ප.ලි.- මේ දවස්වල මගේ හිතේ තිබුන අදහසක් !!!! පරිගණකය, ජීවිතය කරගෙන ඉන්න එකත් නියම අත්දැකීමක් !!!

ප.ප.ලි. - ඔන්න මේ පින්තූරේ ඉන්නේ මම නම් නෙමේ. මට නම් පරිගණකය ඉස්සරහා නින්ද යන්නෙම නෑ.

23 November 2011

බසයක් තල්ලු කලෙමි

අදත් වෙනදා වගේම වැඩට යන්න බ්ස් හෝල්ට් එකට ආවා.වෙනදට හරියට වෙලාවට එන බස් එක අද ප්‍රමාදයි !!! වෙනදා වෙලාවට වඩා ටික වෙලාවක් පරක්කු වෙලා බස් එක ආවා. අම්මෝ බස් එක කට කපලා සෙනග !!!! කෝමහරි ට්‍රැෆික් එකට එහෙමත් අහුවෙලා ආමර් වීදියට ආවා.

ආමර් වීදියට එනකොට වෙනදා වෙලාවට වඩා පෑ බාගයක් විතර ප්‍රමාද වෙලා.ඊට පස්සේ ආමර් වීදියෙන් නුගේගොඩ දිහාවට යන බස් එකකට ගොඩ උනා. ටික වෙලාවකින් බස් එක පිටත් උනා. මරදාන කිට්ටුවට ගාට ගාට ඇවිත් එක පාරටම ටවර් හෝල් එක ලඟ තුම්මන් හන්දිය මැද්දටම වගේ වෙන්න බස් එක හිට්ටා !!!

ඩ්‍රැයිවර් පුදුම උත්සහයක් අරගත්තා බස් එක ස්ටාර්ට් කරන්න. ම්හු... බස් එක නෙමෙයි එක අඩියක්වත් ඉස්සරහට ගියේ.

අන්තිමේදි කොන්දොස්තර අයියා එක පාරටම "ඔය මහත්තුරු චුට්ටක් ඇවිත් බස් එක තල්ලු කරන්න උදව්වක් දෙන්න !" කියලා කිව්වා.

පිරිමි කට්ටිය එකා එකා මූනත් එක්ක ඇඹුල් කරගෙන බස් එකෙන් බැස්සා. සල්ලි ඉල්ලගෙන ෂේප් එකේ මාරු වෙන්න හිතුනත් කරදරයක් වෙච්ච වෙලාවකට එහෙම ෂේප් වෙන එක හරි මදි නිසා මාත් බස් එක තල්ලු කරන්න උදවු උනා.

උදේ පාන්දරම හිස් බඩම බස් එකක් තල්ලු කරනකොට හරිම සනිපයක් දැනෙන්නේ. පුල් ඩම් එක දාලා තල්ලු කලත් බස් එක එක අඩියක්වත් ඉස්සරහට ගියේ නෑ.

"මෙහෙම හරි යන්නේ නෑ අයියා !!!! ගෑනු කට්ටිය කේක් ගෙඩි වගේ බස් එක ඇතුලේ ඉන්නැද්දි බස් එක තල්ලු කරන්න බෑ. ඒ කට්ටියට බැහැ ගන්න කිව්වා නම් !" කියලා මම් කොන්දා අයියට යෝජනාවක් දැම්මා.

"හරි මල්ලි !"

කියලා කොන්දා අයියත් බස් එකේ ලැගගෙන හිටපු බවලත් උදවියට බහින්න කියලා බස් එක ආයෙමත් තල්ලු කලා.කොහොමහරි තුම්මන් හන්දියෙන් බස් එක අයිනකට තල්ලු කරලා ඉතුරු සල්ලිත් ඉල්ලගෙන බස් හෝල්ට් එකට ආවා. බස් එක තල්ලු කරලා අත් දෙක ගන්න හසරක් නෑ. මොකද ලංකාවේ බස් හෝදනවා කියලා යෑ. දූවිලි විමානේ !!!

ඊට පස්සේ ටවර් හෝල් එක ලඟ බස් හෝල්ට් එකට ආවා.අම්මෝ බස් වල සෙනඟ ! මරදානෙන් බස් එකකට ගොඩ වෙනවයි කියලා කියන්නේ මාරම ගේමක්. යාන්තම් සෙනග චුට්ටක් විතර අඩු බස් එකක් ආවා. මාත් ඒකට ගොඩ උනා.

ඔය සේරමත් වෙලා අන්තිමේදි අට හමාරට විනාඩි පහකට විතර කලින් ඇඟිලි සලකුණු මැසිමට ඇඟිල්ල තියා ගත්තා.ඔන්න ඔහොමයි මම අද බස් එකක් තල්ලු කලේ.

19 November 2011

හැනොයි කුළුණ

අද කියන්න යන්නේ සෙල්ලමක් ගැන. සෙල්ලමේ නම තමා පෝස්ට් එකේ හෙඩිම.මේ සෙල්ලම ගැන අපට විශ්ව විද්‍යාලයේ දේශනයකදි කියලා දුන්නා. කට්ටිය නම් මේ සෙල්ලම ගැන මෙලහකටත් දන්නවා ඇති.

මෙහෙමයි සෙල්ලම කෙරෙන්නේ.

මේ තියෙන්නේ හැනොයි කුළුණක් (Tower of Hanoi)

තරඟ කොන්දේසි
වම් පැත්තේ තියෙන තැටි සේරම ටික දකුණු පැත්තේ කුළුණට ගිහින් දාන්න ඕනේ. හැබැයි එකවරකට එක තැටියයි කුළුනකට දාන්න පුලුවන් වෙන්නේ. තව එකක් තමා පොඩි තැටියක් උඩ ලොකු තැටියක් වැටෙන්න බෑ.


මේ සෙල්ලම ගොඩාක් පරණ එකක්. ඉන්දියාවේ පන්සලක තියෙනවලු මෙහෙම රත්තරන් තැටි 64ක් තියෙන හැනොයි කුළුනක් !!!! ඒ කුළුණේ වම් පැත්තේ තියෙන තැටි සේරම දකුණු පැත්තේ කුළුණට දාන්න ඕනේ. මෙහෙම තැටි එකින් එක අර මම් උඩ කියපු නීති වලට එකඟව දකුණු පැත්තේ කුළුනට දාලා අන්තිම තැටිය කුළුණට වැටෙනකොට ලෝකය විනාශ වෙනවලු !!

අන්තිම තැටිය කිව්වේ පොඩිම තැටිය !!!!

මේ තැටි හැටහතරෙන් එක තැටියක් අනිත් කුළුණට දාන්න එක තප්පරයක් ගත වෙනවා නම් තැටි සේරම අනිත් කුළුණට වැටෙන කොට දළ වශයෙන් තත්පර 264 -1 ක කාලයක් ඒ කියන්නේ අවුරුදු බිලියන 585ක් විතර වැය වෙනවලු !!

වම් පැත්තේ තැටි සේරම අනිත් පැත්තට වැටෙනකොට 18,446,744,073,709,551,615 වාර ගානක් අවශ්‍ය වෙනවලු.

ඉතින් හිතාගන්න පුලුවන් නේ සෙල්ලමේ තරම කෝමද කියලා. අපිට කැම්පස් එකේ උගන්නපු දේශකවරයා කිව්ව විදිහට මේ සෙල්ලම කරන්න කම්පියුටර් එකකට බාර දුන්නොත් ලෝඩ් එක වැඩිවෙලා රැම් එක ගිනි ගනී ලූ.

----------------------------------------------------------
ප.ලි. - ගෙදර විවේකිව ඉන්න වෙලාවක සෙල්ලම කරලා බලන්න. තැටි තුන හතරක් ගත්තොත් වැඩේ ගොඩක්ම ලේසියි. මෙන්න තැටි හතරක හැනොයි කුළුණේ සෙල්ලමේ විසදුම !!


(තැටි තුනක් හොයාගන්න බැයි නම් එක එක සයිස් වල පොත් තුනක් හොයාගෙන කරලා බලන්න.)

17 November 2011

අපේ කොරිඩෝව

කාලෙකට කලින් කැම්පස් එකේ ෆොටෝ වගයක් ඕන වෙලා අන්තර්ජාලේ පීරලා හොයන කොට අපූරු පින්තූරයක් හම්බ උනා. ඒ පින්තූරේ තමා ඔය පහලින් තියෙන්නේ. මේ පින්තූරේ තියෙන්නේ අපේ කොරිඩෝව !!!
අපේ කියලා කිව්වේ අපේ ඉංජිනේරූ පීඨයේ.



කැම්පස් එකේ පින්තූර අන්තර්ජාලේ ගොඩක් හොයාගන්න තිබ්බට මේ කොරිඩෝවේ පින්තූර නම් හොයාගන්න තිබ්බේ නෑ. මේ කොරිඩෝව දැක්කම අපේ රැග් සීසන් එකේ දි අපට කියලා දීපු කතාවක් මතක් උනා.

ඒක තමයි මේ කොරිඩෝවේ දෙකෙලවර ගොඩක් අදුනන දෙන්නෙක් හිටියත් එවුන් දෙන්නට එකිනෙකාව අදුන ගන්න බෑයි කියලා කියනවා. හැබැයි මම් මේ කියපු කතාව ඇත්තද කියලා බලලා නෑ.ඇත්ත වෙන්ටෑ. කොරිඩෝවේ දිග හිතාගත්තෑකිනේ.

පින්තූරේ ගත්තේ මෙන්න මෙතනින්

15 November 2011

බැංකු පොත

කාලෙකට පස්සේ ඊ මේල් එකකින් කතාවක් කියවන්න ලැබුනා. ඉතින් මට හිතුනා ඒක කාට කාටත් කියවන්න පුලුවන් වෙන්න කියලා බ්ලොග් එකේ පෝස්ට් කරන්න. මේ කතාවේ ගෑනු ළමයා සහ පිරිමි ළමයා අනුපිලිවෙලින් නදීශානි සහ චරිත ලෙස ගනිමු.

කතාව මේකයි.

මේ කතාවේ නදීශානියි චරිතයි කසාද බඳින දවසේ නදීශානිගේ අම්මා නදීශානිට අළුතෙන්ම පටන් ගත්තු බැංකු ගිනුමක් ඩොලර් 1000ක විතර තැන්පතුවක් එක්ක නදීශානිට දෙනවා. මේ බැංකු පොත නදීශානිගේ අතට දෙන ගමන් අම්මා මෙහෙම කියනවා.

"නදීශානි දුවේ, මේ බැංකු පොත අරගෙන තමන්ගේ ඉදිරි ජීවිතේ මතක හිටින දෙයක් සිද්ද උනොත් ඒක මතක් වෙන්න මේ පොතට ගානක් බැර කරන්න. ඒ රූලෙම සිදුවීම මොකද්ද කියලා ලියන්න අමතක කරන්න එපා !!! ඒ සිදුවීම ගොඩක් සුවිශේෂ එකක් නම් පොතට දාන ගාන වැඩි කරන්නත් අමතක කරන්නෙපා."

ඉතින් මේ සේරම තමන්ගේ හිතේ ධාරණය කරගෙන නදීශානි බැංකු පොත අතට ගන්නවා. නදීශානි මේ කතාව තමන්ගේ ස්වාමි පුරුශයා වෙච්චි චරිතටත් කියනවා.

කාලයක් ගත උනා....

ඒ බැංකු පොතේ මෙහෙම සටහන් වගයක් තිබුනා.

පෙබරවාරි 7 - විවාහයෙන් පස්සේ චරිතගේ පළවෙනි උපන්දින සැමරීම. (ඩොලර් 100යි)

මාර්තු 1 - නදීශානිගේ වැටුප් වැඩි වීම. (ඩොලර් 300 යි)

මාර්තු 20 - විනෝද චාරිකාවක් ගියා (ඩොලර් 200යි)

අපේල් 15 - නදීශානිට දරුවෙක් ලැබීමට සිටියි. (ඩොලර් 2000යි)

ජුනි 1 - චරිතට රැකියාවේ උසස්වීමක් ලැබුනා. (ඩොලර් 3000යි)

තව තවත්.......


කාලයක් ගත වෙනකොට මේ දෙන්නා පොඩි දේටත් රණ්ඩු වෙන්න ගහ මරා ගන්න ගත්තා. කොටින්ම මේ දෙන්නට කසාදේ එපා වෙන තරමට මේ රණ්ඩු දුර දිග ගියා.

"අම්මේ මට නම් මේ මනුස්සයා එක්ක තවදුරටත් ඉන්න බෑ. මම් ඉක්මනටම දික්කසාද වෙනවා." දවසක් නදීශානි අම්මට කිව්වා.

"අනිවාර්යෙන්ම. ඒක එච්චර දෙයක් නෙමේ දූ. ඔයා කැමති දෙයක් කරන්න. නමුත් ඔක්කෝටම කලින් අර බැංකු පොතේ තියෙන සල්ලි සේරම වියදම් කරලා ඉන්න.!!!" අම්මා කිව්වා.

දවසක් නදීශානි මේ බැංකු ගිනුමේ තිබ්බ සේරම සල්ලි ගන්න බැංකුවේ පෝලිමේ හිටියා.එයා ඉන්න ගමන් බැංකු පොතේ සටහන් එකින් එක කියවලා බැලුවා. තමන් සතුටින් හිටපු දවස් වල සටහන් එකින් එක නදීශානි කියෙව්වා. මේ සටහන් දැකලා නදීශානිට දුක හිතිලා බැංකු පොතේ සල්ලි ගන්න එක අතෑරලා දාලා යන්න යනවා.

නදීශානි ගෙදර ගිහින් තමන්ගේ ස්වාමි පුරුෂයාව බැංකුවට එවුවා මේ පොතේ සල්ලි සේරම ටික ගන්න කියලා. එයත් අර විදිහටම සටහන් ටික කියවලා යන්න යනවා.

ටික දවසක් ගත උනාට පස්සේ බැංකු පොතට තවත් ඩොලර් 5000ක් බැර කරලා තියෙනවා කියලා නදීශානි දකිනවා.

අගෝස්තු 4 - "ඔයා මට මේ අවුරුදු කිහිපය ඇතුලත මට දීපු සතුට වෙනුවෙන් සහා මේ අවුරුදු කිහිපය ඇතුලත මම් ඔයාට කරපු ආදරේ වෙනුවෙන්" (ඩොලර් 5000)


ඊට පස්සේ ඒ දෙන්නා ගොඩාක් සතුටින් එකිනෙකාව ආදරෙන් වැලදගත්තා කියලා ඊ මේල් එකේ අන්තීමට තිබ්බා. ඊට පස්සේ කවමදාකවත් මේ දෙන්නා රණ්ඩු උනේ නෑ (ලු) .

-----------------------------------------------------------------------
ප.ලි.- මේ කතාවේ තිබ්බ ඉංග්‍රිසි නම් දෙක, ලිවීමේ පහසුවට සිංහල නම් දෙකක් කරලා ලිව්වා.

13 November 2011

මෝහනය උනෙමි

මේ සිද්ධිය වෙනකොට මම් ඉස්කෝලේ දොලහේ පංතියේ හිටියේ. එක දවසක් අපේ පංතියේ සේරම කට්ටිය එක්කගෙන ගියා වත්තල- මාබෝලේ නගර සභාවේ නගර ශාලාවට. එක්ක ගියේ මොන හේතුවටද කියලා කිව්වේ නෑ.ගියාට පස්සේ නගර ශාලාව දැක්කට පස්සේ තමයි හිතුනේ මොකක් නමුත් දේශනයකට තමා එක්ක ගියේ කියලා.

ඉතින් අපිත් වාඩිවෙලා දේශනෙ පටන් ගන්නකන් හිටියා.ඒක මනෝවිද්‍යා දේශනයක් !!!

මුලින්ම දේශකවරයා ඇවිත් උඩු හිත,යටි හිත,විඥානය, මනෝකාය ගැන සෑහෙන වෙලාවක් කියවගෙන කියවගෙන කියවගෙන ගියා. මට සමහර එවුවා ඇහුවේ නිකන් හීනෙන් කියනවා වගේ. ඒ තරමටම කතාව ටිකක් නීරසයි.

"හරි !!! මම් දැන් ඔයාලව මෝහනය කරන්න යන්නේ !!"

දේශකවරයා එහෙම කිව්වා විතරයි මයේ ඇඟත් හීතල වේගෙන ආවා !!!
මොකද මම් මෝහන වෙච්ච අය ගැන අහලා තිබ්බ කතා හැටියට එහෙම වෙන එක සාධාරණයි.

ඊට පස්සේ තමා වැඩේ !!

අපි ඔක්කෝටම හොදට පුටුවට හේත්තුවෙලා වාඩි වෙන්න කිව්වා. නිෂ්ශබ්ද වෙන්න කියලා ඇස් පියාගන්න කිව්වා. කෝමහරි මාත් ඔහොම ඇස්පියාගෙන හිටියා.

ඊට පස්සේ දේශකවරයා මොනවද මන්දා කියාගෙන කියාගෙන ගියා.

"දැන් ඔබේ සිරුර සැහැල්ලු වෙනවා !!!! ඔබව උඩට ඇඳීගෙන යනවා !! ඔවු ඔබව උඩට ඇදීගෙන යනවා !!!"

දේශකවරයා එහෙම කිව්වා.අම්මෝ එතකොට මාව එකපාරට පුටුවෙන් නැගිටුනා වගේ උනා. ඊට පස්සේ ටික ටික උඩ යන්න ගියා. කෝම හරි අඩි හය හතක් උඩට ගියහම පහල ඔක්කෝම කට්ටිය පුටුවල වාඩිවෙලා ඉන්න හැටි හොදටම පෙනුනා.මට පල්ලෙහා පුටුවක වාවිවෙලා ඉන්න මාවම පෙනුනා. ඊට පස්සේ මම් හොදටෝම බය උනා. මොකද එකපාරට පහලට වැටුනොත් එහෙම...

දැන් ඔහේ ආගිය අතේ පාවෙන්න ගත්තා.මම දන්නෙත් නෑ මම් කොහේ යනවද කියලා.පාවෙන පාවෙන සැරයක් ගානේ බය ටිකෙන් ටික වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.

අන්තිමේදි ආයෙමත් දේශකවරයගේ කට හඬ ඈතකින් වගේ ඇහුනා.ඊට පස්සේ තමා පියවි සිහියට ආවේ. එතකොට මයේ මුලු සරුවාංගෙම දාඩියෙන් පෙඟිලා.

ඔන්න ඕක තමා මම් විඳපු එකම එක මෝහන අත්දැකිම. අම්මෝ ආයෙම නම් මෝහනේ වෙන්න ඕනෙම නෑ !!!

10 November 2011

ලංකාවේ චිත්‍රපටි

කාලයක් තිස්සේ හිතේ තිබ්බ ආසාවක් තමයි ගාමනි චිත්‍රපටිය බලන්න යන්න ඕනේ කියන එක.මීට කලින් අපේ මලයයි මායි ගිහින් කිං හන්තර්, චැලෙන්ජස් වගේ චිත්‍රපටි බලලා තිබුන නිසා මේ චිත්‍රපටියත් බලන්න ආස හිතුනා.

අද නිවාඩුවේ ගෙදර කට්ටියත් එක්ක චිත්‍රපටිය බැලුවා. පොරි පැකට් එකකුත් කකා තමා බැලුවේ.මොකද චිත්‍රපටියක් බලනකොට අනිවාර්යෙන්ම පොරි කන්න එපැයි !!! නැත්නම් චිත්‍රපටිය බැලුවේ නෑ වගේ නේ.

ඇත්තටම ගාමනි කියන්නේ ලස්සන චිත්‍රපටියක් !!!

මේ වගේ ලස්සන චිත්‍රපටි නිර්මාණය වෙනවනම් තව අවුරුදු කිහිපයක් යනකොට ලෝක සිනමාවත් එක්ක තරඟ කරන්න නැති උනත් ඒ ආසන්නට එන්න පුලුවන් අනාගතයක් ලංකාවේ සිනමාවට තියේවි.

මට මතකයි කාලෙකට උඩදි විකට චිත්‍රපටි හතු පිපෙන්නා වගේ බිහි උනා.කොටින්ම චිත්‍රපටියේ නිෂ්පාදකයා හිලෑ කරපු වඳුරෙක්, අලි පැටියෙක් කොහේදි හරි දැක්කොත් ඌව දාලා චිත්‍රපටියක් කරනවා. ඒක මෙලෝ රහක් නැති චිත්‍රපටියක් !!!

තව චිත්‍රපටි ජාතියක් තමා පටන් ගත්ත වෙලේ ඉදන් මෝඩ විහිලු තියෙන චිත්‍රපටි. එවුවා බලලා කිති කවා ගන්න ඕනේ හිනා යන්න. ඒ චිත්‍රපටි අතර හොද ඒවත් නැතුවම නෙමේ. නමුත් ගොඩක් එවුවා වල තිබ්බේ මෝඩ විහිලුයි දෙපැත්ත කැපෙන කතායි !!!

එවුවා ඉතින් පාඩුවට දුවන එක අහන්නත් දෙයක් යෑ

චිත්‍රපටි කිව්වම අපේ අම්මලා අප්පච්චිලා කියනවා ඒ කාලේ චිත්‍රපටි දැන් ඒවට වඩා හොදයි ලූ. ඒ කාලේ චිත්‍රපටි බලන්න පවුල් පිටින් එනවලු. අනිත් එක තමා රගපෑම් එහෙමත් නියමයි ලු.සිංදු ෆයිට් විහිලු එහෙමත් අඩු නැතිව තියෙනවලු. සිංදුවක් යනකොට කට්ටිය හෝල් එක ඇතුලේ ඉදන් කෑගහලා කියනවලු. ෆයිට් එකක් එහෙම යනකොට විසිල් හිටන් ගහනවලු.

මේ කියපු කතා වලින්ම හිතාගන්න පුලුවන් ඉස්සර කොච්චර හොද ප්‍රේක්ෂකයෝ පිරිසක් හිටියද කියලා.

මට නම් හිතෙන්නේ එකම රැල්ලකට යන චිත්‍රපටි නැතුව බඹර වළල්ල, විදූ, පුරහඳ කළුවර වගේ ලස්සන සිනමා නිර්මාණ බිහිවෙනවා නම් චිත්‍රපටි ප්‍රේක්ෂකයෝ ආයෙමත් සිනමා ශාලාවට අද්ද ගන්න බැරි වෙන එකක් නෑ. !!!

06 November 2011

නියම උදව්ව

කාට උනත් කරදර කාලයක් දුක් විඳින කාලයක් තියෙනවා. එහෙම කාල වලදි ගොඩක් අය කරන්නේ අහක බලාගෙන ඉන්න එක. ඒ වගේ උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ.කෙනෙක්ගේ සතුටක ඉදලා දුකකදී අහක බලාගෙන ඉන්න උන් ගැන නම් කතා කරන එක අපරාදයක්.

නමුත් තවත් සමහර අය උදවු කරන්න එනවා.එහෙම උදවු කරන අයගෙන් එක කොට්ඨාසයක් ඇත්තටම උදවු කරන්න එන අය. එහෙම අය නම් වාසනාවක්.

ඒත් තවත් සමහර අය උදවුවක් කරන්න එන්නේ උදවුවක් බලාගෙන.අර කතාවටත් කියන්නේ 'මීයක් කඩන්නේ අත ලෙව කන්න ද' කියලා.අන්න එහෙම උන්ගෙනුත් පරිස්සම් වෙන්න ඕනේ.

කරදරයක වැටිලා ඉන්න එකා උදවුවක් කරන්න එන කෙනා ගැන 100%ක්ම විස්වාස කරන නිසා අනිවාර්යෙන්ම උදව් ගන්නවා.ඊට පස්සේ කරදර කාලේ ඉවර උනාට පස්සේ උදවු කරපු එකා හදන්නේ මූගෙන් තමන්ට කරගන්න පුලුවන් වැඩ කරගන්න.

මේ කතාවම තමයි බඹර වලල්ල චිත්‍රපටියෙත් කියන්නේ.


නමුත් අපේ අම්මා දවසක් මට කියනවා බයිබලයේ තියෙනවාලූ අපි උදවුවක් කරන්න ඕනේ අපට ප්‍රති උදවුවක් කරන්න බැරි කෙනෙක්ට ලූ. එතකොටලු ඒ උදව්ව නියම උදවුවක් වෙන්නේ.

බයිබලයේ තියෙන කතාවත් ඇත්ත තමා. උදවුවක් කරලා උදවුවක් බලාපොරොත්තු වෙන්න හොද නෑ. එතකොට ඒක නියම උදවුවක් වෙන්නේ නෑ.

05 November 2011

ලම්ප්‍රයිස්

දවසක් හවස් වරුවක මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. මම් හිතුවා වගේම ඒ මම් ආදරේ කරපු ගෑනු ළමයාගෙන්. ඒ වෙලාවේ එයා කෑම ගේන්න ටවුමට ගිහින් එනගමන් ලු හිටියේ. මම් ඇහුවා මොනාද කන්න ගත්තේ කියලා. මෙන්න එකපාරටම කියපි 'ලම්ප්‍රයිස්' ගත්තා කියලා.

"මොනවද ලම්ප්‍රයිස් කියලා කියන්නේ ?" මම් දන්නේ නැති කමට ඇහුවා.

"අයියෝ සුදු ඔයා ලම්ප්‍රයිස් කාලා නැද්ද ? ලම්ප්‍රයිස් කියලා කියන්නේ කෙහෙල් කොලේක ඔතපු බත් වලට. කෙහෙල් කොලේට ඉංග්‍රිසියෙන් කියන්නේ ලම්ප් කියලා."

(මෙතන 'සුදූ' කියලා කියලා ආමන්ත්‍රනය කරන්නේ මට)

"ආ.. සමහර දවස්වලට මාත් ගෙදර බත්, කෙහෙල් කොලේ ඔතන් කනවා." මම් පරණ මතකයක් අවදි කලා.

"එහෙම නෙමෙයි සුදූ !!! මේ බත් රසා..යි. මසුයි මාලුයි බිත්තරයි තියෙනවා. ඔයා මේ සෙනසුරාදා මාව හම්බ වෙන්න ආවම අපි දෙන්නා ලම්ප්‍රයිස් කමු."

ගෑනු ළමයගේ පැහැදිලි කිරීමට මගේ කටට කෙලත් ඉනුවා.

"හරි.. එහෙනම් මම් ගානේ අයිස්ක්‍රීම් කමු."

සෙනසුරාදා දවසේ....

එදා අපි දෙන්නා හම්බවෙලා ටිකක් වෙලා කතා කර කර ඉදලා දවල්ට කන්න කියලා කඩේකට ගියා. ඊට පස්සේ එයා කියපු විදිහට ලම්ප්‍රයිස් එකක් ගෙනාවා. අපි දෙන්නා කොනක තිබ්බ මේසයක් ලඟට ගීහින් බත් එක දිගඇරියා. අර කිව්වත් වගේ මසුයි මාලුයි බිත්තරයි ඔක්කොම තියෙනවා. අපි දෙන්නා කන්න පටන් ගත්තා.

"සුදූ !!!"

"ඇයි රත්තරනේ !!! " මම් බත් කටක් කන ගමන් උත්තර දුන්නා.

"මේ බත් එක කන්නේ අපි දෙන්නා විතරයි නේ ?"

"ඔවු. ඇයි ඔයා එහෙම ඇහුවේ ??"

"නෑ... ඔයා කන වේගෙට මම් හිතුවේ මේ බත් එක කන්න තව හය දෙනෙක්වත් ඉන්නවා ඇති කියලා."

අර කිව්වත් වගේ කෑම එකේ රහ වැඩිකමට මගේ කන ඉපීඩ් එකත් වැඩි වෙලා තිබුනේ. ඊට පස්සේ මම් කෑම එක කන වේගේ බාල කරගත්තා. එදා ඒ කෑම එකේ මාරම රහක් තිබ්බේ. වෙනදා කන බත් වයේ යෑ ආදරෙත් එක්ක අනලා කනකොට !!! ආදරෙත් එක්ක කනකොට වහ ටිකක් උනත් එක හුස්මට කාලා දාන්න පුලුවන්.

මට මතක හැටියට එද බත් කාලා අයිස් ක්‍රීම් කෑවේ නැද්ද කොහෙද. :)

"මේ කෑම එකට කීයක් උනාද ?" මම් කාලා ඉවර වෙලා අත හෝදන ගමන් ඇහුවා.

"දෙසීය තිහයි !!"

"අම්බෝ !!! එච්චර ගනන් ද"

"ඔය ඉතින්.... ඔහොම හූල්ලන්න එපා සුදූ. ඔයා හින්දනේ මම් ඒ ගාන වියදම් කලේ. ඉතින් ඒක පාඩුවක් යෑ. අනික අපි දෙන්නා හැමදාම මෙහෙම කනවා යෑ."

එහෙම කියලා එයා ඇස් පුංචි කරලා හිනා උනා. ඇයි කියලා දන්නේ නෑ ඒ හිනාව තාමත් මගේ හිතේ ඇඳිලා තියෙනවා.

අද....

එදා මතයක හිතේ තියාගෙන අදත් මම් ලම්ප්‍රයිස් එකක් ගත්තා. ඒත්.. එදා බත් එකේ තිබ්බ රහ පොඩ්ඩක්වත් මට දැනුනේ නෑ. කන්නත් එච්චරම පිරියක් නෑ.

ඔය බඩගින්නේ ඉන්න ගෑල්ලමයෙක් ඉන්නවනම් මාත් එක්ක මේ බත් එක කන්න ආවට කමක් නෑ.
(ගෑනු ළමයි එකා මත එකා පොරකයි.)

අම්බෝ බලාගෙන ගියාම ගෑල්ලමයි ඔක්කෝම බඩගින්නේ නේ ඉදලා තියෙන්නේ !!!

හා හා කාරි නෑ කාරි නෑ. තම තමන් වෙනදා කන විදිහටම ගෙදරින් කන්න.

මම් මේක තනියම කා ගන්නම් !!!

(අන්තර්ජාලේ පීරලා ලම්ප්‍රයිස් එකක පින්තූරයක් හොයා ගත්තා. මේ තියෙන්නේ ඒක )

02 November 2011

ෆෝබියාව

එතකොට මම් හිටියේ දහතුනේ විතර. උසස් පෙළ ලියන්න මාස තුනකට වඩා තිබ්බේ නෑ. මේක පිරිමි ඉස්කෝලයක් !! ඒ උනාට අපරාදේ කියන්න බෑ අපේ ඉස්කෝලෙය යාර දහයකට විතර මෙහා සහෝදරියන්ගේ ඉස්කෝලයක් තියෙනවා. ඒ ගොල්ලන්ගේ ඉස්කෝලේ මොකක් හරි උත්සවයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අපේ ඉස්කෝලෙට ආරාධනාවක් එවනවාමයි. අනෝන්‍ය සුහදත්වය කියන්නේ මේක වෙන්ටෑ !!!

මට මතක විදිහට අපේ අල්ලපු වැටේ සහෝදරියන්ගේ ඉස්කෝලේ විද්‍යා දිනයක් තියෙනවා කියලා අපිට ආරාධනාවක් ලැබුනා.ඉස්කෝලෙන් අවුට් වෙන්න හිටපු කට්ටිය නිසා මේ චාන්ස් එක අපිට ලැබුනා.

අපිත් ඉතින් එදාට ලස්සනට ලෑස්ති වෙලා උත්සවේට ගියා.මට මතක හැටියට අහල පහල ඉස්කෝල තුන හතරකිනුත් කට්ටිය ඇවිත් හිටියා. උත්සවේ වැඩ කටයුතුත් ලස්සනට යනවා. කොහොමහරි උත්සවේ මැදක් හරියේ තිබ්බා ප්‍රශ්න විචාරක වැඩසටහනක් !!!

ඒකට අපේ ඉස්කෝලෙන් එකෙකුත් යවන්න ඕනේ. අපේ ඉස්කෝලේ කට්ටිය කතාවෙනවා. ඒත් කවුරුත් යන පාටක් නෑ. කෝමහරි 'චින්තක' වගේ නමක් තියෙන කොල්ලෙක්ව ඉස්සරහට තල්ලු කරලා බලෙන්ම වගේ මේ වැඩේට දැම්මා. ඌත් ඉතින් එක එකාට පින් අනුමෝදන් කර කර ස්ටේජ් එකට නැග්ගා.

එක ගෑනු ළමයෙක් ප්‍රශ්න අංක ලියලා දාපු පෙට්ටියක් අරූගේ දිහාවට අල්ලගෙන හිටියා. ඌත් පෙට්ටිය ඇතුලට අත දාලා ප්‍රශ්න අංකයක් ගත්තා.

"මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නය !!! ගෑනු ළමයින්ට ඇති බිය කුමන නමකින් හැඳින්වේද ? "

මල @!#$!@~%^&#$

දැන් හොයපන්කෝ ප්‍රශ්නෙට උත්තරේ. කෝමහරි ඌ ටික වෙලාවක් ඔලුව කහ කහ ඉදලා බොරු උත්තරයක් දීලා ෂේප් වෙලා ආවා.

"මේ ප්‍රශ්නෙට උත්තරේ දන්න කෙනෙක් ***** විද්‍යාලයේ ඉන්නවනම් අත උස්සන්න !!! "

කට්ටිය එක එක වල් පල් දෙඩෙව්වා මිසක්කා එකෙක් අත ඉස්සුවේ නෑ. ඉස්කෝලේ හිටපු අනිත් කෙල්ලෝ 'හිකි හිකි' ගගා ලේන්සුවෙන් කටත් වහගෙන හිනා වෙනවා. විලි ලැජ්ජාවයි !!

ඔය අතර,

"අම්මාපල්ල !!! මුන්ට අහන්න වෙන ප්‍රශ්න තිබ්බෙම නැද්ද ?"

"අපි කවද්ද බං කෙල්ලෙක්ට බය උනේ !!! අපි බය වෙයි මුන්ට !! පුඃ ඒවා හදේ හරිය !!!"

"මම් හූනා කියන්නා වගේ කියන්නම් මුන් මේ ප්‍රශ්නේ ඇහුවේ අපිව චාටර් කරන්න !!! මුන් ටික අහුවෙයකෝ ඉස්කූල් බස් එකේ !!!"


ඔය වගේ එක එක කතා ඇහෙනවා මිසක් කවුරුවත් උත්තර දෙන පාටක් නෑ.

"නිහඩතාවයෙන් පෙනී යන්නේ ඔවුන්ට මේ ප්‍රශ්නේ අපහසු බවයි. නිවැරදි පිළිතුර ෆාතිනෝ ෆෝබියා !!! "

මට මතක විදිහට හරි උත්තරේ කියපු හැටියේ එකම එක හූ හඩයි !!!
කොහොමහරි ටික දවසක් යනකන්ම SAB (සැකනම් අල්ලලා බලන්න) ඉස්කෝලේ කෙල්ලෝ ටික අහවල් විද්‍යාලයේ කොල්ලන්ව බයිට් කරා කියල ආරංචි උනා. ප්‍රශ්නෙට උත්තර දෙන්න ගිය චින්තක කියන එකා කාලයක් ඉස්කෝලේ පැත්ත පලාතේ ගියේ නෑලූ. !!!

ඔය SAB කියලා කියන්නේ ඒ කෙල්ලෝ බැජ් එක විදිහට සාක්කුවේ ගහගෙන හිටපු අකුරු තුන!

01 November 2011

මලවුන්ගේ මාසය

මේ නොවැම්බර් මාසයයි. ඒ කියන්නේ කතෝලික අය මලවුන් සිහි කරන මාසයයි. ඉතින් මට හිතුනා මේ මාසයේ වැදගත්කම ගැන පොඩි දේවල් ටිකක් කියන්න.

මේ මාසේ පළවෙනිදාට ගොඩක් කතෝලික අය කිරිබත් දාන දෙනවා. තම තමන්ට පුලු පුලුවන් හැටියට කිරිබත් ටිකක් හදාගෙන ඒවා පල්ලියට ගෙනල්ලා යාච්ඥා කරලා ඊට පස්සේ දුප්පත් අයටයි එන එන හැමෝටමයි බෙදලා දෙනවා. ඉස්සර අපි ඉස්කෝලේ යන දවස්වල නම් මෙදාට කිරිබත් දාන වරදින්නේ නෑ. මොකද අපේ ඉස්කෝලේ තියෙන්නේ පල්ලියේ අල්ලපු වැටේ !!

මට මතකයි අපේ ලොකු අම්මත් එයාගේ නැතිවෙච්ච දරුවෙක් සිහි කරලා කිරිබත් දානයක් දෙනවා. එයා කිරිබතුයි කෙහෙල්ගෙඩියි හකුරුයි එතනින් ගියහම තල කැරළියි ලෑස්ති කරලා පොඩි කට්ටිය එකතු කරලා දානේ දෙනවා.දානෙට වාඩිවෙන හැම ළමයෙක්ටම කිරි වීදුරුවකුත් හදා දෙනවා.

නොවැම්බර් මාසේ දෙවෙනිදා තුන්වෙනිදා වගේ දවසක උදේ කැරකොප්පුවේ (කනත්තේ) පූජාවක් තියනවා. ඒ පූජාව තියන දවසට කලින් තම තමන්ගේ නෑදෑයෝ මිහිදන් කරලා තියෙන තැන සුද්ද කරලා මිනිවලවල් කොත ගහලා හදන්න ඕනා. පූජාවෙන් පස්සේ මිනිවලවල් වලට ආශිර්වාද පැන් ඉහිනවා.

මීට අමතරව කතෝලික අයගේ දිනපතා යාච්ඥා වලට මලවුන් වෙනුවෙන් කියන යාච්ඥාවක් එකතු වෙනවා.

මේ මාසේ සෙනසුරාදා ඉරිදා වගේ දවස් වලට දාන මානත් දෙන්න අමතක කරන්නේ නෑ. අපි ඉන්න හරියේ ගොඩක් කතෝලික අය ඉන්න නිසා එකම දවසට දාන ගෙවල් දෙක තුනක් තියෙනවා. අම්මෝ ඒවයේ මස් ද මාලු ද ආයේ ඉතින් කියලා වැඩක් නෑ. අපිත් අපේ සීයෑ දානේ දෙන්නේ මේ මාසෙමයි. අපේ සීයා නැති උනෙත් මේ මාසේ.

ආහ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.අපේ අම්මලා ආච්චි අම්මලා නිතරම වගේ කියන දෙයක් තමා මලවුන්ගේ මාසෙට මිනිවලවල් හේදෙන්න වහිනවා ය කියලා. එහෙම වෙන්නේ මලවුන් නැගිටින්න කියලත් කියනවා.ඒවා නම් ඉතින් වැස්ස නිසා කියන දේවල් වෙන්ටෑ.

මේ මාසේ කතෝලික අය නම් වෙඩින් ගන්නේ නෑ. ඒ උනාට අපේ අම්මා නම් කියන්නේ ඉපදෙන්න මැරෙන්න හොද නම් ආයේ බැන්දම මක්ක වෙනවද කියලා.

අම්මෝ අපේ අම්මා ඒක කිව්වම මගේ හිතෙට දැනෙන සන්තෝසේ !!!
:)