25 October 2011

කොළඹට සේන්දු වීම

මේ සතියේ ඉදලා මට වැඩ පටන් ගත්ත නිසා උදෙම්ම ඇහැරිලා කොළඹ දුවන්න වෙනවා. ඊට පස්සේ හවස වැඩ ඉවර වෙලා ආයේ ගෙදර දුවනවා.ඉස්සරහට සතියේ දවස් පහම ගෙවන්න වෙන්නේ ඔහොමයි. අපේ ගෙදර ඉදලා මම් වැඩ කරන තැනට යන්න අඩුම තරමේ පෑ දෙකක්වත් යනවා.

ඒ දුර නිසාම නෙමෙයි මගින් මගට වාහන තදබදේට අහුවෙලා කාලේ නාස්ති වෙන හන්දා. ( දුරත් නැත්තෙම නෑ.) වාහන තද බදය නිසා වෙලාවකට සංසාරේ එපා වෙනවා.

රස්සාව පටන් අරන් දවස් දෙක තුනක් උනාට බස් එකෙන් බහින තැන් එහෙම තාම මීටර් නෑ. එක්කෝ මම් බහින තැනට හෝල්ට් දෙකක් කලින් බැහැගන්නවා. එක්කෝ හෝල්ට් එක පහුවෙලා බහිනවා.ඒ කොයික වෙතත් අන්තිමේ වෙන්නේ සෑහෙන දුරක් පයින් යන්න වෙන එක.

අද බස් එකේ එනකොට මට හිතුනේ අපේ ෆැකල්ටියෙන් අවුට් වෙච්ච බැච් එකම වගේ රස්සාවල් වලට කොළඹ එනවා. සමහරු අනුරාධපුර පොලොන්නරු වගේ පිට පලාත් වලින් කැම්පස් ආපු අය. මේ අය කොළඹ රස්සාවල් කරනවනම් අනිවා බෝඩ් වෙන්න සිද්ද වෙනවා.

ඔය වගේ තව තව කැම්පස් වලින් රස්සා කරන්න කොළඹ එනවා. ඒ අයටත් සිද්ද වෙන්නේ බෝඩින් ජීවිත ගත කරන්න.එහෙම බලාගෙන ගියාම කැම්පස් වලින්ම විතරක් අවුරුද්දකට දහදාහක විතර සෙට් එකක් කොළඹ එනවා.

කැම්පස් එකෙත් අවුරුදු හතරක් කට්ට කාලා රස්සාව කරනකොට කොළඹ බෝඩ් වෙලා ඒ කට්ටම ආයේ පාරක් කන්න වෙනවා. බෝඩින් ජීවිත කියන්නේ ආයේ සුර සැප විඳිමක් ඈ.

එහෙම එන එවුන් ටික කාලයක් යනකොට කසාද බැඳලා කොළඹ අවටින් ගෙයක් අරන් ජීවත් වෙනවා. එතකොට වෙන්නේ සදාකාලිකව කොළඹ ජීවත් වෙන්න වෙන එක. ඔහොම බලාගෙන ගියාම අවුරුදු 10ක් විතර යනකොට කොළඹ ඇඟිල්ලක්වත් ගහන්න ඉඩක් නැති වෙයි. මං හිතන්නේ දැනටත් එහෙම තමා.

මේ කෝක උනත් අන්තිමේදි වෙන්නේ තමන් උපන් ගමෙන්, අම්මා අප්පච්චිලාගෙන් දුරස් වෙන්න සිද්ද වෙන එක. !! ඒ විතරක් යෑ තමන්ගේ දෙමවුපියන් බලන්න ගමේ යන්න වෙන්නෙත් මාසෙකට හමාරකට එක දවසක්. දෙමවුපියෝ දෙන්නා නැති වෙච්ච දාකට ඒ දුරස් බව තව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නැති වෙයි.

මොනා කරන්නද ජීවිතේ හැටි තමා !!!!

23 October 2011

නැටුම

රූ සිරිනි අක්කාගේ බ්ලොග් එකේ පරණ ලිපියක් කියවන්න ලැබුනා. ඒක රැග් එක ගැන ලියවෙච්ච ලිපියක්. ඒ ලිපිය කියෙව්වම මටත් රැග් කාලේ පොඩි කතාවක් මතක් උනා. ගොඩක් කට්ටිය මේ දවස්වල රැග් කතා ලියන නිසා මාත් ඔන්න ඔහේ එකක් ලියනවා.

ගොඩක් වෙලාවට අපට රැග් එක සෙට් වෙන්නේ හොස්ටල් එකේ කාමර වල. මොකද ගොඩක් කට්ටිය හොස්ටල් ඉන්න නිසා රැග් දෙන්නත් ලේසියි.

මේක නැටුමක් !!!! ආහ් නෑ... නැටුම් වර්ග තුනක් !!!

පලවෙනි එක තමයි පොල් ටැප් ඩාන්ස් එක !!

ගොඩක් වෙලාවට මේ නැටුම පාවිච්චි වෙන්නේ DJ වලට එහෙම. මොකද මේක පොෂ් නැටුමක් !!

මෙහෙමයි ඒක කරන්නේ.අපේ වම් අත ටිකක් උස්සනවා. වැලමිට හරියෙන් ඉස්සුවාම හරි. ඊට පස්සේ ඒ අතින් පොල් වල්ලක පොල් ගෙඩියක් කරකවලා කඩනවා වගේ අත මැණික් කටුව හරියෙන් කරකවනවා.

දැන් දෙවෙනි ස්ටෙප් එක.දකුණු අත පහලට දාලා අපේ ඉන ගාවට උස ටැප් එකක් අරිනවා (හෝ වහනවා) වගේ දකුණු අතේ මැණික් කටුව හරියෙන් අත කරකවනවා.

දැන් අන්තිම ස්ටෙප් එක !!! බිම දාපු සිගරට් කොටයක් තමන්ගේ වම් කකුලෙන් පාගනවා වගේ කකුළේ මැනික් කටුව හරියෙන් පොඩ්ඩක් කරකව කරකවා පාගන්න ඕනා !!! ඔන්න ඔය ස්ටෙප් තුනම එකපාර කලාම තමයි පොල් ටැප් ඩාන්ස් එක හරියට කෙරෙන්නේ. ස්ටෙප් තුනයි !!! වැඩේ හරි ලේසියි !!!

පොල් ටැප් නැටුම කියලා කියන්නේ පොල් ගෙඩියක් කඩන විදිහයි ටැප් එකක් වහන විදිහයි නිරූපණය කරන නිසා.

දෙවෙනි නැටුම තමා සවල් නැටුම !!!

මේක කරන්නේ මෙහෙමයි. තමන්ගේ ඉස්සරහා ලොකු වැලි ගොඩක් තියෙනවා කියලා උපකල්පනය කරනවා. ඊට පස්සේ තමන්ගේ අතේ සවලකුත් තියෙනවා කියලා හිතලා ඒ සවලෙන් වැලි ටික ටික අරගෙන තමන්ගේ උරහිස්සට උඩින් විසි කරන්න ඕනා. තේරුනාද වැඩේ ???

එහෙනම් අන්තිම නැටුම !!! මේක තමයි ඔරු නැටුම !!!

මේක කරන්න පුලුවන් සරමක් ඇඳගෙන ඉන්නකොට විතරයි. සරමේ පහල කෙලවර අත් දෙකෙන් අල්ලගෙන බෝට්ටුවක් විදිහට එක අතක් තමන්ගේ ඉස්සරහට වෙන්නත් අනිත් අත පිටිපස්සට වෙන්නත් සරම අල්ලගන්න ඕනා. දැන් බෝට්ටුව යන විදිහට සරම පද්ද පද්ද නටන්න ඕනා.
(පහල රූපය බලන්න)


යන්තන් නෙට් එක පීරලා එකම එක පින්තූරයක් හොයාගත්තා. මේ නැටුම ගවුම් ඇඳගෙනත් කරන්න පුලුවන් ඇති. බලාගෙන ගියාම මේවා ජන නැටුම් නේ. හික්ස් :)

------------------------------------------------------------------
ප.ලි.- රූ සිරිනි අක්කගේ බ්ලොග් එක කියවන්න යනවා නම් මෙන්න පාර. මෙතනින් ගිහින් කියවන්න. ගොඩක් වටින බ්ලොග් එකක් !!!

21 October 2011

මගේ වේදිකාගමනය

එතකොට මම් හිටියේ එක වසරේ. අපේ පංතියට එකපාරම ටීචර්ලා දෙතුන් දෙකෙන් විතර ආවා. ඇවිත් අපේ පංතිභාර ටීචරුත් එක්ක ටික වෙලාවක් කතා කළා. ඊට පස්සේ අපේ පැත්තට හැරිලා අපේ මූනූ දිහා බලාගෙන බලාගෙන ගියා.

එහෙම ටික වෙලාවක් අපේ දිහා බලන් ඉදලා එකපාරට මාවත් එක්කම තව දහ දෙනෙක් විතර තෝරගත්තා. මොකටද කියලා කිව්වේ නෑ. අපිව එක්කන් ලොකු ඉස්කෝලේ (මහ විදුහල් අංශය) සංගීත කාමරේට එක්කන් ගියා.

"පුතාලා අපි ඕගොල්ලන්ව නාට්ටියක චරිත වගයකට ගත්තා. ඔයාලට තියෙන්නේ මේ අක්කලා අයියා කියන විදිහට වැඩ කරන්න !!!" කියලා අපිව එක්කන් ආපු ටීචර් කෙනෙක් කීවා.

ඒ නාට්ටිය කෑලෑවක කතාවක් !!! නම නම් මතක නෑ.

අපි කට්ටියව ගොඩවල් වලට වෙන් කලා. එක කට්ටියක් හාවොයි තව කට්ටියක් මුවොයි උනා. මාත් එක්ක හිටපු කට්ටිය කුරුල්ලෝ !!!!

ඔන්න එදා ඉදන් නාට්ටියේ පුරුදු වීම්. අපිට දෙබස් එහෙම මුකුත් නෑ. මට තිබ්බේ ජවනිකාව ඉවර වෙනකන් තටු ගහන්න. මොකද මම් කුරුල්ලෙක් නේ... ආහ් ... නෑ පුංචිම පුංචි කුරුළු පැටියෙක් !!!. මාත් පන යනකන් තටු ගැහැවුවා.

දවස් දෙකක් තුනක් ඔහොම පුරුදු වීම් යන අතරේ අපිව පුහුණු කරපු ටීචර්ලා අපි දිහා ඈත ඉදන් බලාගෙන හිටියා. එක දවසක් ඔහොම තටු ගගහා ඉන්නකොට එක ටීචර් කෙනෙක් මට තටු ගහන එක නවත්තන්න කියලා පැන පැන හිටපු හාවෙකුවත් නැවැත්තුවා !!!

"ඔය පුතා අද ඉදන් හාවා වෙන්න. මේ පුතා අද ඉදන් කුරුල්ලා වෙන්න" එහෙම කියලා ඒ ටීචර් අපේ චරිත දෙක මාරු කලා.අපේ අම්මා නම් කිව්වේ මම් තටු ගැහැවුවා කැතයි කියලා ටීචර් මාරු කලා කියලා.

කුරුල්ලා වගේ නෙමෙයි හාවා වගේ පනින එක මාරම අමාරුයි. අත් දෙක කන්දෙක වගේ තියාන හොද හුස්මක් අරන් එකපාට්ට පනින්න ඕනා. හාවෙක් වෙලා ටික දවසක් පුහුණුවීම් කරලා පස්සේ අපේ අම්මට කියලා තිබ්බා හා ඇඳුමක් මහන්නෙයි කියලා.

අපේ බාප්පා හා ඇඳුම මහලා ඉවර කලා. ඒ උනාට හාවා කියන්නේ සුදු පුළුන් වගේ බූල් තියෙන සතෙක් නෙව. ඒ නිසා බූල් අලවන්න ඕනා. ඒකට අපේ අප්පච්චි රෑ එළි වෙනකන් බයින්ඩර් ගගා බූල් අලවනවා.

"ඒයි !!! අපේ ලොකු එකා හාවෙක් උනාට වඩා හොදයි කුරුල්ලෙක් උනා නම් !!! එතකොට මේ වදවල් කරන්න ඕනේ නෑ නේ !!!"

අපේ අප්පච්චි බැරිම තැන එහෙමත් කියලා තියෙනවාලූ. අම්මා කියනකන් ඒ වගක් මම් දන්නේ නෑ. උදේ ඇහැරිලා බලනකොට බූල් ගොඩක් තියෙන හා ඇඳුමක්. ලස්සනේ බෑ...

කොහොමහරි එදා මම් නාට්ටියේ අපේ ජවනිකාව ඉවර වෙනකන් හාවෝ පැන්නා. ඔන්න ඕක තමයි මගේ ජීවිතේ මම වේදිකාවක ඉදිරිපත් කරපු එකම එක ඉදිරිපත් කිරීම.එතනින් එහාට ඉදලා හිටලා තෑග්ගක් ගන්න එක ඇරුනම ස්ටේජ් එකකට නැඟලා නෑ.

18 October 2011

චූටි කවි

අපේ ගෙදර මල් වත්තේ
මල් පිපිලා හැම පැත්තේ
සමන් පිච්ච මල් අත්තේ
පුංචි කැදැල්ලක් ඇත්තේ

කුරුළු ගීත නද අතරේ
පැටවුන් දෙදෙනෙකි මිතුරේ
මාපිය දෙදෙනගේ අදරේ
පැටවුන් හිත් තුල පැතිරේ

දින සති කල් ගත වූවා
පැටවුන් නිති කල් යැවුවා
කිචි බිචි හඬ නැති වූවා
පැටවුන් නැති බව දුටුවා

කැලයෙහි පලවැල නෙලනා
කුරුළු මව යි පිය දෙදෙනා
පැටවුන් නැති දුක් සොවිනා
නෙතඟින් කඳුලැලි වැටුනා

ගහ මුල පොඩි පිහාටුවයි
කුරුළු මවගේ නෙත ගැටුනයි
කුරුළු ලොවේ දුක් සුසුමයි
පුංචි අපේ හිත් රිදුනයි

----------------------------------------------------------------------
ප.ලි. - අපේ නංගිලෑ සිංහල පාඩමකට ගායනා කරන්න පුලුවන් කවි ටිකක් ලියාන එන්න කියලා තිබුනා. අමාරුවෙන් කවි ටිකක් ලියා දුන්නා. මේ කවි ටික මොන තාලෙකට ගායනා කලාද කියලා නම් දන්නේ නෑ. :)

කවි ලියන්න මම් අළුත්. ගිම්හානි අක්කා නිසයි කවි ලියන්න ගත්තේ. මේ කවි වල අඩුපාඩු තියෙනවනම් කියන්න.

16 October 2011

ඇයි ගැහැනු හැමතිස්සෙම අඬන්නේ ?

"ඇයි අම්මා අඬන්නේ ?" කුඩා දරුවෙක් අම්මාගෙන් ඇහුවා.

"මම් ගැහැනියෙක් හන්දා !!!" අම්මා උත්තර දුන්නා.

"මට තේරුනේ නෑ අම්මේ"

"ඔයාට කවදාවත් තේරෙන එකක් නැතිවෙයි පුතේ." අම්මා තම දරුවා තුරුල් කරගෙනම කිව්වා.

"ඇයි තාත්තේ අම්මා හේතුවක් නැතුව හැමතිස්සෙම අඬන්නේ ?" ඒ කුඩා දරුවා තම පියාගෙන් මේ ගැන විමසුවා.

"ඕන ගෑනු කෙනෙක් හේතුවක් නැතුව අඬනවා." එපමණයි පියාට කිව හැක්කේ. ඒ දරුවා කාලයත් එක්ක වැඩෙද්දිත් මේ ප්‍රශ්නය එහෙම්ම ම තිබුනා.

අන්තිමේදි ඔහු මේ ගැන දෙවියන්ගෙන් අහනවා.

ඒ දුරකතන ඇමතුම මෙසේ ය.....

දරුවා :
"ඇයි දෙයියනේ ගෑනුන්ට ලේසියෙන්ම අඬන්න පුලුවන් ??"

දෙවියෝ :

"මම ගැහැනියව මැවුවේ යම්කිසි විශේෂත්වයක් තියෙන විදිහට"

"මේ ලෝකයේ සියළු බර දරන්න පුලුවන් වෙන විදිහට මම් ඇගේ උරහිස් ශක්තිමත් කලා. එහෙත් ඒ උරහිස්ම සුවපහසුවක් හදන්න පුලුවන් වෙන විදිහට මෘදු කලා"

"දරුවෙක්ගේ උපතක් දරාගන්න පුලුවන් වෙන විදිහටත්, ඒ දරුවා තම මව ප්‍රතික්ෂේප කිරීම් දරා ගැනීමට හැකිවෙන ලෙසත් මම් ඈව ශක්තිමත් කලා."

"තමාව අතහැර යන අයගෙන් ඈත් වීමට හැකිවන රළු බවත්, තම පවුලේ අයගේ ලෙඩක් දුකකදී ඔවුන්ව රැකබලා ගැනීමේ හැකියාවත් මම් ඇයට දුනිමි."

" ඕනම බලපෑමක් හමුවේ තම දරුවන්ට ආදරය කිරීමේ හැකි සංවේදි බව මා ඈට ලබා දුනිමි. එපමණක් නොව තම දරුවන් තමාට දරුණු වේදනා ලබා දුන් විටත් ඒ ආදරය එලෙසින්ම කිරීමේ හැකියාවත් මම් ඇයට ලබා දුනිමි."

"හොද සැමියෙක් කවදාවත් තම බිරිඳව රිදවන්නේ නැතිබව තේරුම් ගැනීමේ බුද්ධියත්, ඕනම පරික්ෂාවක් හමුවේ තම සැමියාව ධෛර්යමත් කිරීමේ හැකියාවත් මම ඇයට ලබා දුනිමි."

" අවසාන වශයෙන් මම් ඇයට අවශ්‍ය වෙලාවක පාවිච්චි කිරීමට කඳුළුත් ලබා දුනිමි !!!!"


ගැහැනියකගේ සුන්දරත්වය තියෙන්නේ ඈ අඳින ඇඳුමේ වත්, ඇගේ ශරීර හැඩයේවත්, ඇය කොණ්ඩේ පීරන විදිහේවත් නොවේ...

ගැහැනියකගේ සුන්දරත්වය ඇත්තේ ඇගේ දෑස් තුලයි. මක්නිසාදයත් ඇස් යනූ හදවතේ දොරටුව වන බැවිනි. තවද හදවත යනු ආදරය ලැඟුම්ගෙන ඇති තැන වන නිසාම ය.

----------------------------------------------------------------------
ප.ලි. - මේකත් මට මේල් එකකින් ආපු සංකල්පනාවක්.

ප.ප.ලි - මේවා කියලා ගෑනු උඩ යයි ද මන්දා !!!!

14 October 2011

ඔච්චරටම මෝඩ ද

දවසේ බ්ලොග් ටික කියවලා නිදාගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ටීවි එක දැම්මා. එතකොට ලස්සන වැඩසටහනක් විකාශනය උනා. වැඩසටහනේ 'මොංගල සිහිනය' වගේ නමක් තියෙන එකක්. ඒ වැඩසටහන තරඟයක් !!! තරඟ කරන්නේ බදින්න ඉන්න, වෙඩිම ගන්න සල්ලි නැති කපල් !!! තරඟයෙන් දිනපු ජෝඩුව නොමිලේම බන්දලා දෙනවා. සෝක් වැඩසටහනක් !!!!

මම ටීවී එක දාපු වෙලාවේ එක කපල් එකක් තරඟ කරනවා. එයාලට දීලා තියෙන්නේ ගඩොල් කපන්න!!! එකක් දෙකක් නෙමෙයි ගඩොල් පනහක් කපන්න ඕනා. කොල්ලා මැටි ගොඩට වතුර දානවා. කෙල්ල මැටි ගොඩ උඩ නැගලා මැටි අනනවා. මැටි අනලා ඉවර උනාම කෙල්ල අච්චුව අල්ලගෙන ඉන්නවා. කොල්ලා මැටි දාලා ගඩොල ගානට කපනවා. ආස්.....සාවේ බෑ !!!!

කෝම හරි උන් දෙන්නා 'සට සට' ගාලා ගල් ටික කපා ගත්තා. උන්ට මාර පලපුරුද්දක් තිබ්බේ. මම් උන්දෙන්නා ගඩොල් කපන හැටි දිහා නියෝ නියෝ බලාන හිටියා.

ඊට පස්සේ ඊලඟ කපල් එක !!!
උන් දෙන්නට තිබ්බේ ෂූට් කරන තැන ඉදලා පොලොන්නරු ටවුමට බස් එකේ ගිහින් එතන ඉදලා ඉතුරු ටික පයිනුත් ගිහින් මහපරාක්‍රමබාහු රජතුමාගේ පිළිමය ගාවට යන එක. මුන් දෙන්න කෝමහරි පොලොන්නරු යන සීටීබී එකකට ගොඩ උනා. එතන ඉදලා ඩ්‍රැයිවර් අයියට වදේ !!!

"අයියේ ඉක්මනට යන්කෝ !!" කිය කිය කෙල්ල, ඩ්‍රැයිවර් එක්ක තොදොල් වෙනවා. කොම හරි බස් එකෙන් බැහැගත්තා කියහන්කෝ. කෙල්ලයි කොල්ලයි එතන ඉදලා පරාක්‍රම සමුද්‍රයේ බන්ටෙක දිගේ අඬ අඬ දුවනවා.

කෙල්ල :
" අනේ බබී අපි කෝමහරි දිනන්න ඕනා බබී. අපේ මැරිච්ච ලොකු තාත්තා අපිට ශක්තිය දෙයි බබී "

කොල්ලා :
"හරි රත්තරන් අපි කෝම හරි දිනමු !!!! බයවෙන්නෙපා සුදූ අපි කෝමහරි දිනනවා"

ඔහොම කිය කියා දෙන්නා දුවනවා. මහ පරාක්‍රමබාහු රජතුමාගේ පිළිමය ගාවට ආවට පස්සේ දෙන්නා බදාගෙන 'හිටු' කිය කිය උම්මා දීගන්නවා.මට නම් ඒවා පෙනුන් නෑ. කොටු කොටු ටිකක් විතරයි පෙනුනේ. මම් ටාර් ගාලා සරම පැත්තකින් උස්සලා ඇස් දෙකේ තියාගෙන තමයි එතනින් එහාට්ට බැලුවේ.

හොද වෙලාවට විනාඩි 10ක් යනකොට ප්‍රවෘත්ති විකාශයට වැඩසටහන නැවැත්තුවා. මම් ටීවී එක ඕෆ් කරලා නිකා හිටියා.

දෙන්නට දෙන්නා ආදරේ කරලා හොද වෙඩිමක් අරගෙන කසාද බඳින්න සල්ලි නැත්නම් දෙයියනේ කියලා දෙන්නම නෑදෑයොත් එක්ක කච්චේරියට ගිහින් පොතේ අස්සන් කරලා කසාද බඳින්න. මේ වගේ ජන මාධ්‍ය වලින් ලංකාවේ ඉන්න හැමෝටම ෆන් දෙන්න හදන්නෙපා !!! ඒ වගේම තමන්ගේ ආදරේ, මාධ්‍යයක් ඉස්සරහා හෑල්ලු කරන්නෙපා !!!

තමන් අවුරුදු තුන හතරක් එහෙමත් නැත්නම් ඊට වැඩි කාලයක් ආදරේ කරලා දෙන්න කසාද බඳින මොහොත ලස්සනට ගන්න මොන කෙල්ලත් හීන දකිනවා. කොයි කෙල්ලත් කොල්ලත් ආසයි.ඒත් මෙහෙම මාධ්‍ය වලට පේන්න අඬ අඬ ඒ මාධ්‍ය වල අතකොලු වෙන්න හදන්නෙපා !!!!

"වහ කොහොම කෑවත් මැරෙනවා "

ඒ වගේ තමයි දෙන්නා කසාද බැඳලා එක වහලක් යටට යනෙක එක නම් අන්තීම ප්‍රථිපලය හැටියට වෙන්නේ ඒක කොහොම උනත් මොකෝ !!!

පැනලා ගිහින් කසාද බැන්ඳත්, කච්චේරියට ගිහින් පොතේ ලියලා කසාද බැන්ඳත්, රට්ටුන්ට පේන්න වෙඩිමක් අරගෙන බැන්ඳත් අන්තිමේදි වෙන්නේ දෙන්නා කසාද බැඳලා එක පවුලක් වෙන එක. ඒක තේරුන් ගන්න බැරි තරම් අපේ රටේ මිනිස්සු එච්චරම මෝඩයි ද !!!!

ඔළුව පාවිච්චි කරන්න !!!!

11 October 2011

බණ පදයක්...

පින්වතුනි...

සංයුත්ත නිකායේ දුක නිපාතයේ කියවෙනවා සතුටින් ජීවත් වෙන්න බැරි දෙන්නෙක් ගැන. එක්කෙනෙක් තමා ලැබෙන ලැබෙන දේවල් ඉතුරු කරන කෙනා. අනිත් කෙනා තමයි ලැබෙන ලැබෙන දේවල් වියදම් කරන කෙනා.

හැමදේම ඉතුරු කරන කෙනාට කොච්චර දුන්නත් මදි. ඉතුරු කරනවා.ඒ වගේම හැමදේම වියදම් කරන කෙනාට කොච්චර ලැබුනත් මදි. ඒ හැමදේම වියදම් කරනවා.ඒ නිසා අපට ලැබෙන දේවල් මධ්‍යස්ථව වියදම් කරන්නත් මධ්‍යස්ථව ඉතුරු කරන්නත් පුරුදු වෙන්නෝන.


--------------------------------------------------------------
ප.ලි.- මේ ලියමන මට කියවන්න ලැබුනේ ෆෝටෝකොපි ගහන්න ගිය තැනක බිත්තියේ අලවලා තිබිලා. කියවන්න හම්බ වෙච්ච වාර ගණන හන්දා මේක මට හොදටම මතකයි

10 October 2011

නිවාඩුවකට ගියෙමි

කැම්පස් එකෙන් අවුට් වෙච්ච දා ඉදන්ම ගෙදර ඉදලා ඉදලා එපා වෙලා හිටියේ. ඒ නිසා පොඩ්ඩක් ඇවිදලා එන්න කියලා පේරාදෙණි ආවා.වෙන කොහේවත් නෙමෙයි අපේ කැම්පස් එකට ආවේ.

ගෙදර ඉන්න එක තරම් ජොලි වැඩක් නෑ කියලා හිතුනට මට නම් ගෙදර ඉන්න එක එපාම වෙලා තිබ්බේ.ගෙදර ඉන්න එකත් ලේසි නෑ. මොකද උදේ ඉදන් හවස් වෙනකන්ම කලිසම් ම මහන්න එපැයි. ආහ්... කියන්න අමතක උනා. අපේ අම්මා, විකුණන්න කලිසම් මහනවා. අපේ අම්මා මටත් ඔය මැහුම් වැඩ උගන්නලා තියෙන හන්දා මටත් ඇඳුම් මහන්න පුලුවන්. :)

ඇඳුම් මැහිල්ලට වඩා අපේ අම්මා " පුතේ අදවත් නැද්ද රස්සාවක් හරියන පාටක් !!!" කියලා අහන එක එපාම කරපු වැඩක්. ඒක හන්දා මට මේ කම්පියුටර් එක එපා වෙලා තිබ්බේ.

මේ සේරමත් එක්ක ගෙදර ඉන්න බැරි හන්දා මම් පේරාදෙණි ආවා. හොස්ටල් එකේ මල්ලි කෙනෙක්ගේ කාමරේක ගජේට තමයි ඉන්න උනේ. මොකද අපි එනකොට අපේ කාමර බාර දීලා ආපු හන්දා ඉන්න තැනක් නෑ.

ගෙදරින් ඈත් වෙලා ඉන්න එක හරිම නිදහස්. ඔය වගකීම්, බැඳීම් කියන කිසි දෙයක් ඔලුවට එන්නේ නෑ. හරිම නිදහස්. මෙහෙම කරපන් අරෙහෙම කරපන් කියලා කියන්න කවුරුත් නෑ. ජීවිතෙත් මේ වගේ නිදහස්ව ගෙවන්න පුලුවන් නම්..... කොච්චර ශෝක් ද !!!! මට එහෙමත් හිතුනා.

උදෙම්ම ඇහැරිලා මම් හිටපු හොස්ටල් එකෙන් උදේට කාලා කැම්පස් එක වටේ ඇවිදලා දවල් උනාම තවත් කොහේ හරි හොස්ටල් එකක් අල්ලගෙන කෑම කනවා. ආයෙම හවස් අතේ කොහේ හරි රස්තියාදු වෙවී තමයි මේ දවස් ටික ගෙවුනේ. හරිම නිදහස් !!!!

අපේ සමහර විෂයයන් වලට රිසල්සුත් ඇවිල්ලා.මෙදාපාර රිසල්ට් නම් ගොඩක් හොදයි. යන්තන් මගේ ක්ලාස් එක බේරිලා. බැරි වෙලාවකවත් C එකක් ආවොත් ක්ලාස් කුඩු !!! කලින් වතාවල් වල වගේ මෙදාපාර C නම් නෑ.ඒ වගේම තමයි රස්සාවල් වලට අඬපු කාලෙත් ඉවරයි. මට ජොබ් එකක් හරි ගියා.

ඉස්සර වගේ අපේ බැච් එකේ හිටපු ඔක්කොම නම් නෑ. ඒ වෙනුවට ස්ටාෆ් එකේ ඉන්ස්ට්‍රක්ටර් විදිහට නැවතුන කිහිපදෙනෙක් විතරමයි හිටියේ.
ආහ්....තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපේ ඉඳිකට්ටිත් ස්ටාෆ් එකේ ඉන්නවා. මට ඒයැයිවත් හම්බ උනා. ඉඳිකට්ටි ශෝක් කෙලි පොඩ්ඩ !!!

කම්පියුටර්, ඉන්ටර්නෙට් වගේ ඒවයින් ඈත් වෙලා හොද විවේක කාලයක් ගත කලා. තාක්ෂණයත් එක්ක කොහෙද හොද විවේකයක් ගත කරන්නේ !!!

06 October 2011

ලෝක පූජිත ආදර කතා

මේ ලෝකේ හිටපු මුල්ම මිනිහගෙයි ගැහැනියගෙයි පටන් ගත්තම අද වෙනකොට කොච්චර නම් ආදර කතා තිබිලා ඇද්ද.නමුත් ඒ ආදර කතාවලින් කීයෙන් කීයක්ද ලෝක පූජිත ආදර කතා වෙලා තියෙන්නේ. ආදර කතා ලක්ෂයක් ගත්තොත් ඒවයින් එකක්වත් ලෝක පූජිත ආදරයක් වෙලා නෑ.

ඒකට තියෙන ලොකුම හේතුව තමයි ගොඩක් ආදර කතා විවාහයකින් කෙලවර වෙන එක. විවාහයකින් කෙලවර වෙන කිසිම ආදර කතාවක් ලෝක පූජිත ආදර කතාවක් වෙන්නේ නෑ.උදාහරණෙකට ගමු සාලිය අසෝකමාලා, රෝමියෝ ජුලියට්, ලයිලා මජ්නු, දෙව්දාස් පාරෝ වගේ ආදර කතා කවදාවත් විවාහයකින් කෙලවර වෙලා නෑ.

අන්න ඒ නිසයි ඒ ආදර කතා අදටත් ලෝක පූජිත ආදර කතා කියලා කවුරුත් කියන්නේ.

බොහෝමයක් ආදරවන්තියෝ තමන්ගේ ආදරවන්තයාව කෝමහරි කසාද බඳින්න පොළබවා ගන්නවා. එතකොට වෙන්නේ දෙවි කෙනෙක්ට තමන්ගේ දේවත්වය අහිමි උනා වගේ දෙයක්. තමන්ට ලෝක පූජිත ආදර කතාවක හිමිකාරයා/ හිමිකාරිය වෙන්න බැරුව යනවා.

ඒ නිසා මම නම් කියන්නේ ආදරේ කළාට කමක් නෑ. කවදාවත් කසාඳ බඳින්න එපා. කසාද බැන්දම කවදාවත් ලෝක පූජිත වෙන්න බැරුව යනවා. දැන් ඉතින් කසාද බැදලා ඉන්න කට්ටිය බඩ පපුව පිච්චිලා යන තරමට හූල්ලන්න එපා. ලෝක පූජිත වෙන්නත් වාසනාවකුයි කර්ම ශක්තියකුයි තියෙන්න ඕනේ.

දැන් ආදරේ කරන කට්ටියට තමන් කවදාහරි ලෝක පූජිත ආදරවන්තයෙක්/වන්තියක් වෙන්න හිතේ කොනක හරි අදහසක් තියෙනවා නම් කසාද බඳින එක හිතෙන් අයින් කරලා දාගන්න. ඔය පහල පින්තූරේ ඉන්න දෙන්නව අදුනනවද ? ඒ තමයි හිම කුමාරියි එයාගේ කුමාරයායි.

පේනවා නේද ඒ දෙන්නා කසාද බැඳලා වෙච්ච දේ ? කවුරුවත් කියන්නේ නෑ එයාලගේ ආදර කතාව ලෝක පූජිතයි කියලා. පොඩි කට්ටියට උනත් සුරංගනා කතාවක් විදිහට හරි කියන්නේ යාලුවෙලා ඉන්න කාලේ වෙනකන් විතරයි. ඊට පස්සේ උන දේවල් කියන්නේ නෑ.

එතකොට දැන් කවුරුහරි කියයි "උබ මේ ඊරිසියාවට කියන කතා !!!! එතකොට සාජහාන් රජතුමායි මුම්ටාස් දේවියයි කසාද බැඳලත් ඔය යස අපූරුවට ලෝක පූජිත වෙලා ඉන්නේ !!!" කියලා.

කවුද කියන්නේ ඒ දෙන්නා කසාද බැඳලා සතුටින් හිටියයි කියලා. අනිත් එක තමයි ඒ දෙන්නගේ ආදර කතාව ලෝක පූජිත උනේ ටජ් මහල හන්දා. ඔය ටජ් මහල හදපු නිසා ඒ රටේ ආර්ථික අහේනියකුත් උනාලු. ඇයි සෑහෙන වියදම් ගියාලු නේ ඔය ටජ් මහල හදන්න.ඉතින් රටවැසියෝ දුකෙන් කන්න නැතුව ඉන්නකොට රටේ රජා කරපු මේ වැඩේ හරිද ? නෑ නේ. අනිත් එක තමයි ඒක හදපු දක්ෂ නිර්මාණකරුවගේ අත් දෙකටත් සොට් එක ලැබුනනේ !!!

------------------------------------------------------------

ප.ලි. - මූ නම් පට්ට කොල්ලෙක් ය මූත් එක්ක ලෝක පූජිත ආදර කතාවක් පටන් ගන්න ඕනේ ය කියලා හිතුන කවුරුහරි ගෑනු ළමයෙක් ඉන්නව නම් තම තමන්ගේ CV එක මේල් කරන්න පුලුවන්. ඒත් හිතන්න එපා මූ වේලි වේලි ඉන්න හන්දා අනිවා තමාව තෝර ගනී කියලා.ඒවා හඳේ හරිද !!!!

කතාවටත් කියන්නේ සිංහයෝ කොච්චර බඩගින්නේ හිටියත් තණකොළ කන්නේ නෑ ය කියලා. අන්න ඒ හන්දා ඉස්සෙල්ලා ටෙක්නිකල් ඉන්ටර්විවු එකක් තියලා පස්සේ හැදියාව බලන්නත් එක්ක HR ඉන්ටර්විවු එහෙකුත් තියනවා. ඒ දෙකෙන්ම තේරෙන අය තමයි ගන්නේ. එහෙම ගත්තත් ඒ කට්ටියටත් මාස 9ක ප්‍රොබේශන් කාලයක් (probation period - පරිවාස කාළයක්) තියෙනවා.

දැන් තේරෙනවනේ මේක කොච්චර අමාරු වැඩක්ද කියලා !!!!

05 October 2011

ලොකාට්

මම් ට්‍රේනින් ඉන්න දවස්වල මම් වැඩ කරපු කම්පැණියේ හැම අවුරුද්දකම වගේ යන ට්‍රිප් එක යන්න ලැබුනා. අපේ වාසනාවට වගේ අපි ට්‍රේනින් ඉන්න දවස්වල තමයි ට්‍රිප් එක යන්න තීරණය කරලා තිබ්බේ. ඒ අවුරුද්දේ අපි ගියේ නුවරඑළියට. දවස් දෙකක ට්‍රිප් එකක්. කෝමහරි පළවෙනි දවසේ හවස් වෙනකොට නුවර එළියට ලඟා උනා.

අපිට වෙන් කරලා තිබ්බ හෝටලයේ කාමර වලට ගෙනාපු බෑග් ටික දාලා ඇවිදින් ජර්සි එහෙම ඇඳගෙන පොඩ්ඩක් ඇවිදින්න කියලා ගියා.යමින් ගමන් අයිස් කැප් එකක් එහෙම කාරිය අරගෙන ටවුම පැත්තට ගියා. නුවර එළිය ටවුන් එක පුරාම පලතුරු කඩ. නා නාප්‍රකාර පලතුරු.

තැන් දෙක තුනකම තිබුනා වෙරලු වගේ හැඩයක් තිබ්බ කහපාට පලතුරු ජාතියක්. කඩේ හිටපු කෙනාගෙන් මේ මොනවද කියලා ඇහුවා.ඒ මනුස්සයා කියපි මේ ලොකාට් කියලා. මෙවුවායේ නම ඉංග්‍රිසියෙන් ලියන්නේ loquat කියලා. ම්හු.... උපන්තේකට අහලා නෑ.කොයිකටත් කියලා මල්ලක් පිරෙන්නම ලොකාට් ගත්තා.

(ඔය තියෙන්නේ ඉදිච්ච ලොකාට් ගෙඩි)

ලොකාට් ගත්තට කන විදිහ දන්නෙත් නෑ. ඒකත් අහ ගත්තේ ඒ මනුස්සයාගෙන්. පොත්ත අයින් කරලා මදේ ලු කන්නේ. අප්පේ..... මාර ඇඹුලයි. නෙල්ලි වගේ. හැබැයි ඉදුනු ගෙඩි නම් එච්චර ඇඹුලක් නෑ. කෝමහරි අපි ගිය සෙට් එකෙන් මම් විතරයි ලොකාට් ගත්තේ. අනිත් එවුන්ට දුන්නත් එක ගෙඩියකට වඩා කෑවේ නෑ. ඒ අර ඇඹුල් ගතිය හන්දා.

ඔය ලොකාට් කියන ජාතිය ලංකාවට ආවේණික නෑ. ලොකාට් වල නිජබිම දකුණු චීනය. ඒ රටවල් වල සරත් කාලයේ නැත්නම් ශීත කාලයේ මුල් හරිය වෙනකොට මල් පිපෙන්න පටන් ගන්නවා ලු. ලොකාට් වල මල් සුදු පාටට හුරුයි ලු.ගෙඩි ඉඳෙන්න ගන්නේ සීත කාලයේ අග හරියේ නැත්නම් වසන්තකාලයේ මුල් හරියේලු.

(සුදු පාට ලොකාට් මල්)

ඉතින් මම් ඔච්චර කියන එකේ නුවර එළි ගිය වෙලාවක ලොකාට් කාලම බලන්න.මම නම් ඇට හිටන් ගෙනාවා පැල කරන්න. ඔන්න අපේ යහා නම් පැළ උනා. තාම පොඩි පැල තියෙන්නේ.

03 October 2011

පැන්සලයි මකනයයි

පැන්සල :
මට සමා වෙන්න !!!

මකනය :
ඒ මොකටද ? ඔයා කිසි දෙයක් කළේ නෑනේ !!!

පැන්සල :
මම නිසා ඔයාට තුවාල වෙන හන්දා මට සමාවෙන්න. මම් වැරදීමක් කරන හැම වෙලාවකම ඔයා ඇවිත් ඒක මකලා දානවා. ඒ වැරද්ද නිවැරදි කරන්න ගියහම ඔයාගෙන් කොටසක් ඒකට වැය වෙනවා. එතකොට ඔයාගේ ප්‍රමාණය එන්න එන්නම පුංචි වෙලා යනවා.

මකනය :
ඒක ඇත්ත තමයි !! ඒ උනාට මං ඒක ගනන් ගන්නේ නෑ. මාව හදලා තියෙන්නෙම ඔයා කරන වැරදි මකලා දාන්න නේ. එහෙම උනත් මම දන්නවා දවසක මං නැතිවෙලාම යනවා. එතකොට ඔයා මං වෙනුවට වෙන අළුත් එකක් ගේනවා. ඒ උනාට මං මගේ රාජකාරිය ගැන ඇත්තටම සතුටු වෙනවා. ඒ හින්දා කරුණාකරලා කනගාටු වෙන්න එපා. මම් ආස නෑ ඔයා අඬනවා දකින්න !!

ඉහත දෙබසේ...
ළමයි පැන්සල් කියලා හිතුවොත් දෙමවුපියන් මකන වලට උපමා කරන්න පුලුවන්. දෙමවුපියෝ හැම වෙලේම දරුවොත් එක්ක ඉන්නවා එයාලා කරන වැරදි අඩුපාඩු මකලා දාන්න. නමුත්.... කාලයක් යනකොට දරුවෝ තමන්ගේ දෙමවුපියන් ගැන දුක් වෙනවා. ඒගොල්ලෝ කුඩාවෙන (වයසට යන හෝ සමහර වෙලාවට මිය යන) හන්දා.

එහෙම උනත් එයාලා අලුත් මකනයක් (බිරිඳ හෝ සැමියා) ගේනවා. ඒත් දෙමවුපියෝ ඒ ගැන කවදාවත් දුක් වෙන්නේ නෑ. තව තවත් සතුටු වෙනවා මිසක්. දෙමවුපියෝ කැමතිත් නෑ එයාලගේ ළමයි එයාලා දිහා බලලා දුක් වෙනවට.

"මම මගේ ජීවිත කාලා පුරාම පැන්සලක් වගේ වෙන්න සිද්ද වෙනවා. ඒත්... මට දුකයි මගේ දෙමවුපියෝ මකනයක් වගේ දවසින් දවස නැති වෙනවා දකින්න."

-----------------------------------------------------------------
ප.ලි. - මේ සිතුවිල්ල මට මේල් එකකින් ආපු එකක්. ගොඩක් වටිනවා කියලා හිතුන නිසා පරිවර්තනය කලා. සමහර වෙලාවට කියවලාත් ඇති. කියවලා නැති එක්කෙනෙක් හරි ඉදීවී කියලා හිතුන නිසා පරිවර්තනය කලා.

01 October 2011

ළමා දිනය

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි.

ඉස්සර මම ඉස්කෝලේ ඉන්න දවස්වල නම් ළමා දිනය දවසට උදේ රැස්වීම වෙලාවේ පොඩි උත්සවයක් තියනවා. නැටුම් ගැයුම් එහෙමත් තියලා ලොකු සර්ගේ එපාම කරපු කතාවකුත් තියෙනවා. ලොකු සර් වෙනදා වගේම ප්‍රේමදාස මහත්තයා ස්ටේජ් එකට නැග්ගා වගේ ඇඟිලි තුඩු වලින් ඉස්සි ඉස්සි කතා කරනවා.

උත්සවේ ඉවර උනාම කට්ටියම පංති වලට යනවා. ටීචර් ඇවිත් රෙජිස්ටරේ නම් මාක් කරලා යන්න යනවා. අපි එවෙලේ ඉදන් ඉස්කෝලේ ඇරෙනකන් සෙල්ලම් කරනවා. ඔන්න ඔහොමයි එදා දවස ගෙවෙන්නේ.

ඔන්න වෙනදා වගේම රූපවාහිනි ආයතන වලින් ජයටම ළමා දිනය සමරන්න යන්නේ.එක රූපවාහිනි ආයතනයකින් මොකද්ද මන්දා වර්ල්ඩ් එකක උත්සවයක් ලෑස්ති කරලා. මම් හිතුවේ ඇතුල්වීම නොමිලේ වෙන්නැති කියලා. යාන්තමට හින්නිකිතර සයිස් අකුරු වලින් ඇතුල්වීම රු. 100ක් කියලා ගහලා තියෙනවා.

ඒ වගේම තමා සතුටු උයන්වල පැකේජ් වල හිටන් ගානත් අඩු කරලා. වෙනදා වගේම කාර් වලින් එන කම්පියුටර් ගේම් ගහන ඉන්ටර්නෙට් පාවිච්චි කරන ළමයින් එකට එකතු කරගෙන සතුටු වෙන්නත් පුලුවන්.

ගම් වල ඉන්න ළමයින්ට නම් සතුටු උයන් වල සෙල්ලම් කරන්න තව කාලයක් බලන් ඉන්න වෙයි. ආයේ ඉතින් ඒ ළමයින්ට සතුටු උයන් ඕනේ යෑ ඔය ඕන් තරම් තියෙන්නේ වෙල් යායවල්. නිකන් අපරාදේ ජල ක්‍රිඩා කරන්න එක එක ලෝක වලට යන්න ඒ අයට යන්න සල්ලි වියදම් කරන්න ඕනෙත් නෑ.

මට නම් හිතෙන්නේ ළමයින්ට ළමා දිනයක් ප්‍රකාශයට පත් කරනවා වෙනුවට ඒ ළමයින්ට නිදහසේ ළමා කාලය ගත කරන්න දුන්නා නම් හරි. නැත්නම් එදාටත් අර වැලන්ටයින් දවස වගේ මුදලාලිලා පෝසත් කරන්න තමයි වෙන්නේ.