26 September 2011

වලේ නාට්ටි

පේරාදෙනියේ සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය එහෙමත් නැත්නම් කවුරුත් දන්න විදිහට කියනවනම් 'වල' කියලා කියන්නේ පේරාදෙණි සරසවියට තියෙන එකම එළිමහන් රංග පීඨයට. ඒක හදන්න මුල් වෙලා තියෙන්නේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තයා නිසයි ඒකට 'එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය' කියලා කියන්නේ.

පිහිටි බිම පාවිච්චි කරගෙන පැනොරාමා තියටර් වර්ගට අදාල වෙන විදිහට 'වල' නිර්මාණය කරලා තියෙනවා.

(පැනරෝමා වර්ගයට අයත් ග්‍රීක රඟමඩලක්)

ගොඩක් වේදිකා නාට්‍ය කලාකරුවන් අතර මතයක් තියෙනවා තමන්ගේ නාට්‍ය සංදර්ශනය වලේ පෙන්නන්න පුලුවන් උනොත් ඒ නාට්‍ය නිර්මාණය සාර්ථක වෙනවයි කියලා. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි සරත්චන්ද්‍ර මහත්තයා වගේ කෙනෙක් මුල්වෙලා නිර්මාණය කරපු රඟමඩලක් වීම නිසයි.

වලේ වේදිකාවේ ඉදලා නාට්ටියක් රඟදක්වනකොට හැම නළුවාම අංශක 200ක් ඔලුව උස්සලා දෙබස් කියන්න ඕනේ. ඒකට හේතුව වෙන්නේ ප්‍රේක්ෂකයෝ ඉන්නේ නළුවන්ගේ මට්ටමේ ඉදලා අංශක 200ක් උඩින් වීමයි. පොඩි අවුලකට තියෙන්නේ වේදිකාව පැත්තකින් ලොකු රොබරෝසියා ගහක් තියෙන එක. ඒ නිසා ඒ ගහ පැත්තේ වාඩිවෙලා ඉන්න ප්‍රේක්ෂකයන්ට වේදිකාව හරි හැටි පේන්නේ නෑ.
(මේ තියෙන්නේ සරත්චන්ද්‍ර එළිමහන්‍ රඟමඩල. වම් පැත්තෙන් තියෙන්නේ මම් කියපු රොබරෝසියා ගහ. ඔය මැද රවුම තමා රඟමඩලේ වේදිකාව)


ඒ හන්දම ඒ පැත්තේ සීට් ටික හැම නාට්‍ය සංදර්ශනකයදිම ඉතුරු වෙනවා.සමහර දවස්වලට වැස්ස හන්දා නාට්ටි සංදර්ශන වලට එන පිරිස අඩු වීමක් ඇරෙන්න අනිත් දවස්වල වල පිරෙන්නම සෙනග ඉන්නවා. එදාට ඉතින් පරක්කුවෙලා ආවොත් වලේ පැත්තකට වෙලා නාට්ටිය ඉවර වෙනකන් හිටගෙන ඉන්න වෙනවා.

අවුරුද්දේ අග හරියට වෙනකොට 'වල සතිය' කියලා වලේ නාට්ටි පෙන්වන සතියක් තියෙනවා. එදාට අහල පහල ගම් වල අය වගේම කැම්පස් වල ඉන්න අපිත් 'වල' බහින්න එනවා. එදාට ඉතින් පාඩම් කරනවා බොරු. වල බහින්න වලට අදින්න අපේ බැච් වල කොල්ලෝ හරියට උත්සහ කරනවා.

මට මතකයි එක වතාවක් වලේ පෙන්නුවා ලූෂන් බුලත්සිංහල මහත්තයාගේ 'තාරාවෝ ඉගිලෙති' නාට්ටිය. එදා නාට්‍යය සංදර්ශනය ඉවර වෙලා බුලත්සිංහල මහත්තයා නළු නිලියෝ හදුන්වලා දුන්නා. එදා රොඩ්නි වර්ණකුල ආදරනීය කලාකරුවගේ අම්මා අන්ත්‍රා වෙලා මිනිය ගෙදෙට්ට ගේන වෙලාවට ලූ මේ නාට්‍ය සංදර්ශනය තිබුන බවත් සදහන් කලා.

එදා ඒ කලාකරුවා කරපු කැපකිරීමට ගරු කිරීමක් විදිහට වලේ නාට්ටි බලපු හැමෝම නැගිටලා අත්පොලසන් දුන්නා.

ඒ වගේම "නියම කලාකරුවෙක් කලා නිර්මාණයකට සහභාගී නොවී ඉදීමට තියෙන එකම සාධාරණ හේතුව තමන්ගේ මිය යාම විතරක්ම ..." බවත් එතුමා සදහන් කලා මට අද වගේම මතකයි.

24 September 2011

අක්කයි මල්ලියි


ඕලු, නෙළුම් මල් අතුරා පාර දිගේ..
කොක්කු පේලියට හිටුවා ඉවුර දිගේ..
පුංචි පාරුවක නැගිලා මාදු ගඟේ..
එනවද යන්න මා එක්කල නොකර අගේ...

ඔය කවියයි පින්තූරයයි ගිම්හානි අක්කා බුකියේ ස්ටේටස් වල දැම්මට පස්සේ මම් ඒ කවිය ලස්සනයි කියලා කමෙන්ට් එකක් දැම්මා. ඊට පස්සේ අක්කයි මමයි අතරේ ඇති උන කවි දෙබස තමයි පහලින් තියෙන්නේ.

හැදින්වීම :
හිටිවන කවි කියුමෙහි උපතින් සමත් වෙතී
ගිම්හානි අක්කව නොදන්න කෙනෙක් නැතී
උඩ කී කවි ඈ ස්ටේටස් වල දමා ඇතී
හිටිවන කවි කීමට මා නිතැතින් පෙලඹ වෙතී

මම :
ලස්සනයි !!

ගිම්හානි අක්කා :
ලස්සන තමයි ඉතින් එනවද යන්න මාදු ගඟේ???


මම :
ආස උනත් පාරුවේ නැඟලා යාම
පෙරලුනොතින් පාරුව ගඟ මැද දීම
ගිලෙනවා සත්තයි අක්කේ දිය පෙවිලාම
මේකට උත්තර දෙනවද මට කවියෙන්ම


ගිම්හානි අක්කා :
මටනම් හැකිය හොඳ හැටියට පීනන්ට..
මල්ලී බය නොවී අක්කා හා එන්ට...
මානේල් මල් ටිකක් හනිකට අර ගන්ට..
ඉක්මන් කර යමු මලේ පන්සල් යන්ට

මම :
අක්කා පීනාවි තනියම ගොඩයන්ට
මට වෙන්නේ ගඟ මැද හිඳ මිය යන්ට
මානෙල් මල් ටිකක් මිටකට අරගන්ට
පන්සල් ගිහින් මිය ගිය මට පින් දෙන්ට

ගිම්හානි අක්කා :
මල්ලි ජීවත් වෙන්ට මා මිය යන්නම්.
මට පින් දෙන්ට මා යනවා එහෙනම්

මම :
අක්කා මිය යනවා මට බෑ වාවන්න
දෙන්නම එකට යමු මතු ඉපදෙන්න
ජීවත් වීම දුකක් අඬ අඬ දැනගන්න
අක්කා නැතිව මට බෑ පන්සල් යන්න


ගිම්හානි අක්කා :
අම්මයි , පොඩි මල්ලියි අදරින් රැක ගන්න.
අක්කා යන්නට ගිය බව පවසන්න.
දෙන්නට දෙයක් නැහැ අම්මට මෙන්න.
මානෙල් මල් ටිකක් ගෙනිහින් දෙන්න

මා මියගිය බව බොග් අය්යලට පවසන්න.
සුදු මල් එපා නිවසට ඇවිදින් යන්න.

මම :
මානෙල් මල් වලට බෑ හිත හදලා දෙන්න
අම්මා අඬනකොට බෑ මට ඉවසන් ඉන්න
අක්කේ අම්මා හොයයි හනිකට මෙහෙ එන්න
පමා වෙලා විසුමක් වෙන් නෑ ඔන්න


ගිම්හානි අක්කා :
මගෙ ගුන ඇතොත් සිහිපත්වන්න..
කඳුලක් එපා සුසුමක් පිටකර යන්න

මම :
සුසුමක් පිට කර මේ වාතලය වෙත
ලොකු අක්කා යනවා වෙන් වී ඈත


ගිම්හානි අක්කා :
අද දිනට උයලා නැහැ මම තාම.
යනවා යන්න මා ඔබහට නොකියාම..

මම :
අක්කා එහෙනම් ගිහින් උයලා එන්න
අයියා හොයයි මාව දවාලේ කෑමට ගන්න


------------------------------------------------------------
ප.ලි. -
හිතුනා ලිව්වා ඒ හින්දම ඇත අඩුපාඩූ
අපහැදිලි තැන්, ඇත මගේ අඩු ලුහුඩූ
කියවන ඔබේ අදහස් හිත් පතුලේ වැඩූ
පහලින් කමෙන්ට් කලොත් ඇති වෙනවද පාඩූ

23 September 2011

පංතියෙන් එළියට !!!

දවසක් අපේ ගණිතය කරපු මිස් පාඩමක් කරනවා භාග සංඛ්‍යා සුළු කිරීම් ගැන ඔය සුළුකිරීම් කරනකොට බෙදලා ඉවර වෙලා වැඩි කලත් එකයි වැඩි කරලා බෙදුවත් එකයි. ඉතින් ඕක ටීචර් ළමයින්ට තවත් තේරුම් ගන්න පුලුවන් විදිහට "දැන් ළමා..යි ගහලා බැන්දත් එකයි !!! බැදලා ගැහුවත් එකයි !!!!" කියලා කිව්වා. ඕක අහගෙන හිටපු අන්තීම පේලියේ එකෙක්ට "නෑනේ ටීචර් !!!" කියලා කිව්වා. නෑ..හ් කිය උනා.

පංතියේ එකම හිනා සාගරයක්.......

ඕක කොහොමහරි ගනන් උගන්න උගන්න හිටපු ටීචර්ට ඇහුනා. ටීචර් වහාම ක්‍රියාත්මක වෙලා මූව පන්තියෙන් එලියට දැම්මා. දැන් මේකා මූනත් හත‍රැස් කරගෙන පන්තියේ දොර ගාව ඉන්නවා. මේ සීන් එක බලාගෙන හිටපු මම්, ඔලුව බෑග් එකේ ඔබාගෙන හිනා උනා.

ටීචර් මාව දැකලා "තමුසේ මොකද හිනා වෙන්නේ ? තමුසෙටත් එළියට යන්න ඕනද !!!!" කියලා ඇහුවා. මම් යන්තන් හිනාව කපා ගත්තා.


උගේ වෙලාවට පංතිය ඉස්සරහින් ප්‍රින්සිපල් සර් ගියා. සර් ඇහුවා "තමුසේ වැරද්දක් කරලා නේ පන්තියෙන් එලියට දාලා ඉන්නේ " කියලා. මූත් ඉතින් " ඕ..හ් ඔ.. ඔව් සර් !! " කියලා ගොත ගහගා කිව්වා. එහෙනම් අල්ලනවා අත කියා වේවැලෙන් පාරවල් දෙක තුනක් දීලා සර් ගියා.

ඊට පස්සේ ටික වෙලාවකින් ඔතනින් ගියා උප විදුහල්පති එයත් ඇහුවා අර ප්‍රශ්නෙම මූත් සුපුරුදු පරිදි ගොත ගහහා ඔව් කියලා කිව්වා. සර්රුත් සුපුරුදු පරිදි පාරවල් දෙක තුනක් දුන්නා.

ඊටත් ටික වෙලාවකට පස්සේ ඔතනින් ගියා විද්‍යාව උගන්නපු සර්. සර් රුත් අර ප්‍රශ්නෙම අහලා මූට පාරවල් තුන හතරක් දීලා යන්න ගියා. දැන් මූට පාං කියා ගන්න බැරි තරමට ගුටි කාලා ඉන්නේ. ඕක කොහොමහරි ගණිතය උගන්නපු මිස් දැකලා මිස්ට දුක හිතුනා.

"ඔය ළමයා පංතිය ඇතුලට එනවා !!! ආයේ එහෙම ඕ වගේ වැඩක් කලොත් පංතිය අහලකටවත් ගන්නේ නෑ !!" කියලා පොඩි සැරකුත් දාලා කට කොනකින් හිනාවකුත් දාලා පංතිය ඇතුලට ගත්තා.

ගුරු මණ්ඩලය 100ක් විතර ඉන්න ඉස්කෝලේ ගුරුවරු 45ක් විතර හිටියා. ඒ නිසා එදායින් පස්සේ පංතියෙන් එලියට යන්න උනාම කිසිම එකෙක් පංතියේ දොර ලඟට වෙලා හිටියේ නෑ.
------------------------------------------------------------------

ප.ලි. -
ඔක්කොම කුණු බේරේ වැවට
මේ ලිපියත් මගේ ගිනුමට

21 September 2011

නින්දෙන් ගෙරවීම

කැම්පස් එකේ ඉන්න දවස්වල තනියම පාඩම් කරන්න හැදුවට මට නම් තනියම පාඩම් කරලා විභාගේ ගොඩ දාගන්න බෑ. ඒ නිසා කට්ටිය එකට සෙට් වෙලා තමයි පාඩම් කරන්නේ.කාගේ හරි කාමරේකට කට්ටියම එකතු වෙලා රෑ වෙනකන් පාඩම් කරලා ඊට පස්සේ වැටිච්ච වැටිච්ච තැන් වල නිදා ගන්නවා. ආයේ ඉතින් තමන්ගේ කාමරේටම යන්නෝන කියලා හිතෙන්නේ නෑ.

ඔහොම නිදාගන්න කොට තියෙන ලොකුම කරදරේ තමා සමහර එවුන් නින්දෙන් ගොරවන එක. දවසක් ඔහොම පාඩම් කරලා නිදාගන්න කාමරේකට සෙට් උනා. දෙන්නෙක් ඉන්න කාමරේක තවෙකෙක් එනකොට අනිවාර්යෙන් කාමරේ ඇඳන් දෙක එකට ලං කරලා ඉඩ හදා ගන්න ඕනේ. ඔය ඇඳන් දෙක ලං කලාට පස්සේ මැද දාරේට අපි කියන්නේ "සංසාර ගැට්ට" කියලා. ඇඳන් දෙක එක පරතරේට නැති උනාම මැද නිදාගන්නෙක හරිම අමාරු සීන් එකක්.



ඔහොම දවසක් මම් පාඩම් කරලා මගේ කාමරේ තිබ්බ පහලම තට්ටුවට යන්න කම්මැලි හිතුනා. මොකද තට්ටු 4ක් බහින්නෙපැයි. ඉතින් එකෙක්ගේ කාමරේක නිදාගන්න සෙට් උනා.මට නින්දා යාගෙනම එනකොට දෙපැත්තේ එවුන් දෙන්නා ගොරවන්න ගත්තා. අම්මෝ එකෙක් ගොරවලා ඉවර වෙනකොට අනෙකා පටන් ගන්නවා. මට ඇහෙන්නේ ගෙරවිල්ල එක දිගටම තියෙනවා වගේ. කොහොමහරි ටික වෙලාවක් බලලා කම්මැලිකම පැත්තකින් තියලා මගේ කාමරේටම ගියා.

මේ කතාව මතක් උනාම මට හිතුනා ලෝකයේ වැඩිම සද්දෙන් ගොරවන්නේ මොකාද කියලා හොයන්න. නෙට් එකේ සර්ච් කරලා බැලුවම ලෝකයේ වැඩිම සද්දෙන් ගොරවන්නේ ඇලන් මැට් කියන එකා. මේකා කොච්චර හයියෙන් ගොරවනවද කියනවනම් ඩෙසිබල් 112.8 ක තීව්‍රතාවයකින් ගොරවනවා ලූ. ඒක හරියට ජෙට් එංජින් එකක් ස්ටාර්ට් කරලා තියෙනවා වගේ ලු.

මේ ගෙරවිල්ල ගිනස් පොතට ගිය ගෙරවිල්ලක්.මේ මනුස්සයා තමන්ගේ ගෙරවිල්ල ගැන ආඩම්බර වෙනවලු. නමුත් ඒකගේ ගෑනිට උදේට ඇහැරෙනකොට අනිවාර්යෙන්ම කනේ අමාරුවක් හැදෙනවලු. ඒ විතරක් යෑ කවදාවත් රෑට හරිහැටි නිදාගෙන නෑලු.

19 September 2011

නොදැකපු මිතුරෝ

අවුරුද්දට වඩා වැඩි කාලයක් ගොඩක් අයගේ බ්ලොග් කියව කියවා හිටියට ඒ බ්ලොග් ලියන්නේ කවුද කියලා මම් මීට කලින් දැනගෙන හිටියේ නෑ. දැනගන්න උනෙත් නෑ. මොකද ගිය අවුරුද්දේ සංසදයේ ගෙට්ටුව වෙලාවේ මට විභාග තිබ්බා. ඒ නිසා ඒ අවුරුද්දේ ගෙට්ටුව මිස් උනා.

කොහොමහරි මේ අවුරුද්දේ ගෙට්ටුවට කලින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබ්බ පොත් ප්‍රදර්ශනය බලන්න බ්ලොග් ලියන කට්ටිය එකතු උන වෙලාවේ කට්ටිය අදුන ගන්න තිබ්බ ඒ ආසාවත් ඉෂ්ට උනා. කාලයක් තිස්සේ වචන වලින් විතරක්ම අදුන ගෙන තිබ්බ යාළුකම් හෑබෑවටම දකින්න ලැබුනා.

ආපු ගමන් නම් කාවවත් නමින් දැනගෙන හිටියේ නෑ. කොටින්ම මට කෝල් එකක් දීලා මාව කන්ටෑක් කරගත්ත ගෝල්ඩ් ෆිෂ් අයියව උනත් දැනගෙන හිටියේ නෑ. ආවට පස්සේ මාව දන්න නොදන්න හැමෝ එක්කම කතා කලාට පස්සේ තමා ඒ අයව දැන අදුන ගත්තේ.මට හරියට දැනුනේ මම් කැම්පස් ආපු මුල්ම දවස වගේ. එදත් මට දැනුනේ මේ වගේම හැඟීමක්. මොකද රට වටෙන්ම කට්ටිය ආවට ඒ එක්කෙනෙක්වත් දැකපු එවුන් යෑ.

මෙහෙම කට්ටිය අදුනගන්න වැඩේ නම් මගේ හිතට හොදටම අල්ලලා ගියා. මේ අවුරුද්දේ නම් අනිවාර්යෙන්ම මොන වැඩේ තිබ්බත් සංසදයේ ගෙට්ටුවට එනවා.

17 September 2011

නවකතා

මේ මාසේ සාහිත්‍ය මාසේ නිසා පොත් ගැන මොනවා හරි නොලිව්වොත් ඒක ලොකු අඩුවක්.පොත් කිව්වම මම් ඉස්සර ඉදන්ම ආසයි ඔය පරිවර්තන නවකතා කෙටි කතා එහෙම කියවන්න. නවකතා කිව්වම ඉතින් ආයේ කන්න ඕනෙත් නෑ. පොත කියවලාමයි නවත්තන්නේ.

ඉස්සර මම් උසස් පෙළ කරන්න ආපුම දවස්වලත් ඔය නව කතා කියවන පිස්සුව තිබ්බා. කොච්චර පිස්සුවක් තිබ්බද කියලා කියනවනම් අම්මා ඉස්කෝලෙදි දවල්ට කන්න දෙන සල්ලිත් එකතු කළා නවකතා පොත් ගන්න. මම් ඉස්සර ගොඩක් ආසයි අර කඳුලේ නවකතා කරු කියන ලේඛකයා ලියන පොත් වලට. පොත කියවන්න පටන් ගත්ත වෙලේ ඉදන්ම අඬන්න තියෙන්නේ.

ඒ කෙනා ලියන වැස්සක වගේ නමක් තියෙන පොතට තමා මම් ගොඩක්ම ආස කලේ. ඒකේ පලවෙනිම කොටස මම් ගම්පහ සරසවියෙන් ගෙනාවා. දෙවෙනි කොටස හොයාගන්න තිබ්බෙම නෑ. එතකොට අපේ මල්ලි කුරුදුවත්තේ ඉස්කෝලෙට තේරිච්ච දවස්. ඉතින් අපේ මලයා ඉස්කෝලේ ඇරිලා නුගේගොඩට ගිහින් තමා ඒ පොතේ දෙවෙනි කොටස හොයන් ආවේ. අම්මා මල්ලිට බැන්නත් එක්ක "උබට පිස්සුවක් තියේද !!!" කියලා. අපේ මලයා ඉතින් මාව උගස් තියලා බේරුනා.

දැන් නම් ඒ පොත් දිහා බලන්නත් ආසාවක් නෑ. මට නම් හිතෙන්නෙම් ඒවා මහ බොලඳ නවකතා ය කියලා. ඔය වැස්ස වගේ නමක් තියෙන පොතේ ප්‍රධාන චරිතයට ඉන්න කෙල්ල පොතේ එකතැනක කියනවා "අරහෙම පිරිමි කෙනෙක්ව ලැබෙන්නේ නැත්තන් ඒ වගේ ආදරනීය පිරිමියෙක් එක්ක ටික දවසක් ඉදලා දරුවෙක් හදාගෙන ගමේ ගිහින් ඒ දරුවා හදා ගන්න එක හොදයි !!!!" කියලා කියනවා.

කොහොමද මේ පොත කියවපු කෙල්ලෙක් ඔහොම කිව්වනම් !!! ආදරනිය මනුස්සයෝ පෝලිමක් ඉදීවී. ලඟදි පත්තරේක දැක්කා ඒ පොතේ 9වෙනි කොටසත් එළි දැක්වුවා කියලා. තමන් ආදරේ කරන කෙනෙක්ට එහෙම මේ වගේ පොතක් නම් දෙන්න එපා. එක පොතක් ඉවර වෙන්නේ අනිත් පොතට ආරම්භයක් දීලා. ඒ නිසා පොත් අරන් දීලා විසුමක් වෙන්නේ නැති වෙයි.

මේ කතුවරයා ලියන පොත් වල තියෙන්නේ දෙවිදිහක කතා. එක්කෝ කෙල්ල පෝසත් කොල්ලා දුප්පත් නැත්නම් කොල්ලා පෝසත් කෙල්ල දුප්පත්. අතරින් පතර දෙන්නම එක සමාජ මට්ටමේ කතා තියෙනවා. ඒත් ඒවා බොහොම අඩුවෙන්.

16 September 2011

පාං කතාව

පාං යනු අපේ ගෙදර අයගේ ප්‍රියතම කෑමය. කොච්චර ජනප්‍රියද කියලා කියනවනම් පාං නොගෙනෙන දවසක් නැති තරම්ය. සමහරක් දාට බත් මදිවේයැයි කියා අපේ අම්මා පාං බාගයක් ගෙන එන්නීය. එදාට ඒ පාං බාගේ කන්න මල්ලියි මායි පොර කන්නේය. මල්ලිට කලින් මං පාං බාගේ කන්න ගත්ත දාට "අපේ අම්මා අයියට තමයි වැඩියෙන්ම ආදරේ !!! ඒකනේ අයියට පාං දෙන්නේ !!!!" යැයි මල්ලී දෝස්මුර නගන්නීය.

පානුයි ආදරෙයි සම්බන්ධ වෙන්නේ කෙසේද කියා මං තවමත් සිතන්නේය. පාං වර්ග ම මහ ගොඩක් තිබේ. එනම්,

(1) අච්චු පාං - මෙම පාන් වල වැඩිපුරම ඇත්තේ වතුර වේ. තවද මේ පාං කනවිට කිබුලා කිරිමැටි කන අයුරු සිහි කරවයි.මෙම පාන් වර්ගයට අධික ප්‍රත්‍යාස්ථ ගුණ පවති. මෙම වර්ගයේ පාං ගෙඩියක් එක මිටකට ගත හැකිවන ලෙස සංකෝචනය කළ හැකි අතර අතහැරිය විට යලි තිබුන තත්ත්වයටම පත්වීමේ ගුණය පවති.

(2) තැටි පාං - මෙම පාං වර්ගය පාං තැටියක ගණකමකින් යුක්ත වන අතර කෙලවරකින් අල්ලා සිටින විට කඩා හැලෙක ගුණයක් පෙන්වයි.

(3) අයිං පාං - මේ පාන් දර පොලු වැනිය.මෙම පාං ආහාරයට ගැනීම සදහා වෙනම දත් කුට්ටමක් අවශ්‍ය වේ.ඒ තරමටම මේ පාං ජාතිය සවි ශක්තියෙන් ඉහලය.

මේවා ප්‍රධානම පාං වර්ග වන අතර එතනින් ගියහම රෝස් පාං, පරලු පාං, ජෑම් පාං, හුන්ඩු පාං, බිත්තර පාං ද පාං කුලයය අයත් උප විෂේශ වේ.

පාං වල ඇති විෂේශම ගුණය වන්නේ පවතින ආණ්ඩුවක් උඩු යටිකුරු කිරීමේ හැකියාවය.මහජන ඡන්දෙන් පත්වෙන ඕනම ආණ්ඩුවක් උත්සහ කරන්නේ අඩුම මිලට ජනතාවට පාං ගිල්ලවීමටය. කලක් පාං ගෙඩියක මිල රු3.50 විය. දැන් නම් එහෙම පානක් හොයා ගැනීමට නම් කටුගෙට යා යුතුය. එකල පාං කාලක මිල 1.25 විය. රුපියල් 3.50 හතරෙන් බෙදූ විට 1.25 වන්නේ කෙසේද කියා මම් තාම සිතමි. ගෙදරින් රුපියක් සොයා ගත හැකි උවත් සත විසි පහක් සොයා ගැනීම අසීරු කටයුත්තකි. එවිට ගෙදර බුදු පානේ, තෙල් වල ගිල්වා ඇති සත විසි පහ මතක් වන්නේ නිතැතින්මය.

එහෙත් දැන් පාං යනු ත්‍රස්තවාදියෙකි.පාං ආහාරයට ගන්නා තැනත්තා හදුන්වන කෙටි යෙදුම දේශදෝහියා වේ. අනාගත පරපුර වෙනුවෙන් පාං රැක ගැනීම අප සතු යුතුකමකි.

14 September 2011

අලි ගැට පේර බීම

මම පොඩි කාලේ ඉදන්ම ආසම නැති පලතුරක් තමයි අලිගැටපේර කියලා කියන්නේ. ඒ උනාට ගෙදර කට්ටිය ගේන්නේම අලිපේර. එදාට ඉතින් මාරම කේන්තියි. මොකද කට්ටියම මට පෙන්න පෙන්න රහ කර කර තමා ඕක බොන්නේ. වෙලාවකට අපේ තාත්තා මට එයැයිගේ වීදුරුවෙන් මට පොවන්න හදනවා. අම්මෝ මම නම් කට අහලකටවත් ගන්නේ නෑ.

"උබලට ඉතින් හොද දෙයක් කන්න පින තියේ යෑ " තාත්තා හැමදාම මන්තරේ වගේ එහෙම කියනවා.

නමුත් මම් ගොඩ ගියාට පස්සේ මම් ආදරේ කරපු කෙනා ආසම බීමත් අලි පේරම තමා. දවසක් ඒයැයිගේ උපන්දිනේ දාක අපි ෂොපින් ගිහින් එන ගමන් කඩේකට ගොඩ වැදුනා. මෙන්න මෙයා අලි පේර දෙකක් ගන්න හදනවා.මට අප්පිරියාවේ බෑ.

කොහොමහරි එදා නම් අලි පේර එකකුයි මට ෆලූඩා එකකුයි ගත්තා. එදා මම් ෆලූඩා එක බොන අතරේ "මේකෙන් චුට්ටක් බීලා බලන්නකෝ සුදූ !!!!" කියලා කිව්වා. මම් ඉතින් අලිපේර වලට ආස නෑ කියලා කිව්වා.

"අනේ මම් කියන නිසා අදට විතරක් බොන්න.!!!" මාත් අමාරුවෙන් අමාරුවෙන් චුට්ටක් විතර බීවා. අම්මෝ මම් කලින් බීපු ෆලූඩා එකත් එක්කම ඔක්කාරෙට එන්න ආවා. යන්තන් වමනේ යෑම නවත්ත ගත්තා.

කොහොමින් කොහොමහරි මාත් ඒයැයි වගේ අලිපේර බොන්න පුරුදු උනා. මුලදි මුලදි ආසාවක් නැති උනාට පස්සේ ගොඩක් ආස කල බීමක් තමා අලිපේර කියලා කියන්නේ.

නමුත් එදා අපි අලිගැට පේර බීපු කඩෙයි අලි පේර වල රසයි එදා අපි ආදරෙන් වාඩිවෙලා හිටපු මේසයයි පුටු දෙකයි ඇරෙන්න අනිත් හැම දේම කාලයත් එක්කම වෙනස්වෙලා ගිහින්. ඒ ආදරේ හිතේ විතරක් ඉතුරු වෙන්න ඒයැයි යන්නම ගිහින්.

අදටත් උඩින් අයිස් ක්‍රීම් දාපු අලිපේර බීම එකක් බොනකොට මට එයාව මතක් වේවි.


12 September 2011

හැදෙන එකා

අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා. ඒකා පුදුම වසයි. අක්කට නංගිට එහෙම ඉන්න දෙන්නේ නෑ. කොහොමහරි මේකා මේ අවුරුද්දේ ඉස්කෝලේ දම්මා. ඉස්කෝලේ ගියපු මුල් දවස් ටිකේ නම් හොද එකා වගේ හිටියා. දැන් පංතියේ එවුනුත් එක්ක ගහ ගන්නවා කියලා දවස ගානේ ගෙදරට පැමිණිලි එනවා.

ටීචරුත් හැමදාම දඩුවම් කරනවා. ඒත් මූ හැදෙන්නේ නෑ. කොහොමහරි බැරිම තැන ටීචර් මේකාගේ පොතක පොඩි සටහනක් දාලා එවලා තිබ්බා. ඒ සටහන ඒකගේ අම්මට පෙන්නන්න තමයි එවලා තිබ්බේ. ඒ සටහනේ තිබ්බේ මෙහෙමයි.

දගකාරයි !!!!
පාඩමට ඇහුම්කම් නොදේ !!!!
යාළුවන් සමග දබර කිරීමට පෙළඹේ.
ළමුන් රණ්ඩු කරවා නිහඩව බලා සිටියි !!!


මේක කියෙව්වට පස්සේ මට හිතුනෙම කවදහරි මූ දේසපාලකයෙක් වෙයි කියලා. මොකද ගොඩක් දේසපාලකයන් කරන්නේ දෙපැත්තක් රණ්ඩු කරන්න ඉඩ දීලා නිහඩවම බලාගෙන ඉන්න එකනේ. පොඩි කාලේ ඉදන්ම දේශපාලකයෙක්ගේ ගති ලක්ෂණ තියෙන නිසා ඒ පැත්තට යොමු කරවන එක හොදයි.

මොකද ඉතින් කවදහරි මගේ ළමයෙක්ව උනත් ජනප්‍රිය පාසලකට එහෙම බැරි උනොත් රජයේ රස්සාවකට උනත් ලේසියෙන්ම දාගන්න පුලුවන් නේ !!! හික්ස් :)

10 September 2011

අසුබ පෙරනිමිති

අපි ගොඩක් වෙලාවට සුබ කටයුත්තකට ගෙදරින් පිටත් වෙනකොට රාහු කාලය, මරු සිටින දිශාව සුබ වෙලාවල් ඔය එකී මෙකී නොකී දේවල් බලලා එලියට බහින්නේ.එහෙම එලියට බැස්සත් පාරට එනකොට දකින කෙනා අනුව සුබ අසුබ පල තීරණය කරන්න උත්සහ ගන්නවා.

ගෙයින් එලියට බහින කොට හිස් බාල්දියක් අරගෙන වතුර ගන්න එක කෙනෙක් එහෙම දැක්කොත් එදා කරන්න යන වැඩේ අසාර්ථක වෙනවා කියලා හිතනවා. එතකොට ඉතින් කරන්න යන ලේසිම වැඩක් උනත් හරියට කරන්න බෑ. ඇයි කලින්ම හිතලනේ වැඩේ හරි යන්නේ නෑ. ඊට පස්සේ ගෙදර ඇවිත් අර උදෙම්ම දැකපු කෙනාට පලු යන්නම බනිනවා.

ඔය වගේම තමා වඳ ගෑනු කෙනෙක් එහෙමත් නැත්නම් ගමේ ඉන්න අසුබයි කියලා හිතන අස්වහ කටවහ කාරයෝ කියලා ලේබල් ඇලවිච්ච අය දැක්කත් අර කිව්වා වගේම තමයි හිතන්නේ. මට හිතෙන්නේ ඒ අයගෙන් අපට බලපෑමක් නැතුවැති. හැම දේටම වඩා මේ හිත කියලා කියන වස්තුවේ බලපෑම වැඩියි නේ.

අපි සුබයි කියලා හිතුවොත් එදාට දවසම සුබයි අසුබයි කියලා හිතුවොත් එදාට කැඳත් නෑ.

මෙහෙම කිව්වම තමයි මට මතක් උනේ. අපේ ගෙවල් ලඟ අංකල් කෙනෙක් ඉන්නවා. එයා හැමදාම වැඩට යනකොට එකපාරටම එලියට බහින්නේ නෑ. එයාගේ දුවෙක්ව (දූලා දෙන්නෙක් විතරයි ඉන්නේ.) කියනවා පාරට ගිහින් ආයෙමත් ගෙට එන්නෙයි කියලා. දුව ගෙට එන්න හදනකොට තමයි ඒ අංකල් ගෙදරින් එලියට බහින්නේ. මොකද එයාගේ මතේට අනුව තමන්ගේ දුව ගෙයින් එලියට බහිනකොට දකින එක සුබ කාරණාවක් ලූ.

එක අතකට එහෙම හිතන එකත් හරි දෙමවුපියන්ට තමන්ගේ දරුවෝ වාසනාවක් තමයි. ඔය අල්ල පනල්ලේ වෙන කවුරුහරි දක්කොත් (දුව ඇරෙන්න වෙන එකෙක්) ආයෙම ගෙට ගිහින් ටික වෙලාවකින් එනවා.

දවසක් මම් ඉස්කෝලේ යන්න පාරට එනකොට ඒ අංකල් ගෙයින් එලියට බහින්න හදනවා. එකපරම පාරට එනකොට මාව දැකලා අයෙම ගේ ඇතුලට ගියේ නැතෑ. ඒක දැකලා මට මාර අප්සට් !!!! මොකද මම් ඒ තරමටම අසුබ එකෙක් යෑ. ඔහොම සුබ කාරණා අසුබ කාරණා හිතපු ඒ අංකල්ට තමන්ගේ ජීවිතයේ අන්තිම කාලයේ ගොඩක් දුක් විඳින්න සිද්ද උනා. ලෙඩ වෙලා ඇඳේ එකතැන් වෙලා ඉදලා තමයි නැති උනේ.

මට හිතෙන විදිහට මේ ලෝකේ කවුරුත් වාසනාව කියන දේ අතේ ගුලි කරගෙන එන්නේ නෑ. ඒ නිසා වාසනාව අවාසනාව කියන එක සතුටින් විඳ දරා ගන්න ඕනේ.

08 September 2011

සිසේරියන් බබාලා Vs. ස්බාවික බබාලා

මේ සිද්ධිය උනේ මම කැම්පස් එකේ තුන්වෙනි වසරේ ඉන්නැද්දි. නිවාඩු දවසක පාඩම් කර කර ඉන්න අතරතුර අපිට ඉස්සරහා කාමරේ හිටපු යාලුවෝ දෙන්නත් පාඩම් කරලා අපේ කාමරේට සෙට් උනා. ඒකෙන් මේකෙන් උනේ මම් කර කර හිටපු පාඩම අල වගාවක් වෙච්ච එකයි.

කොහොමහරි ආපු එකේ කතාකරකර හිටියා. කොහොමින් කොහොමහරි කතාව වෙන පැත්තටකට ගිහින් සිසේරියන් ළමයි ගැනයි නෝමල් විදිහට ලැබෙන ළමයි ගැන කතා කරන්න ගත්තා.

"මචං උබ දන්නවද ළමයෙක්ව නෝමල් ලැබෙනකොට අම්මා කෙනෙක් ඒ ළමයට තියෙන ආදරෙයි සිසේරියන් විදිහට ලැබෙන ළමයෙක්ට අම්මා කෙනෙක්ගේ තියෙන ආදරේ අතර පොඩි වෙනස්කමක් තියෙනවා කියලා ?" එකෙක් කිව්වා.

"ඒ කිව්වේ ? මට නම් හරියටම තේරුනේ නෑ ?"

"නෑ බං. ස්බාවිකව හම්බවෙන ළමයාට අම්මා දක්වන ආදරේ වැඩියි. සිසේරියන් කරලා ගන්න ළමයට ඒ ආදරේ චුට්ටක් විතර අඩු වෙනවා. ගොඩක්ම නෙමෙයි චුට්ටක් විතර !!!!"

මෙහෙම කිව්වා විතරයි මගේ යාලුවෙක් වෙච්ච දමිත්ට ටිකක් විතර මල පැන්නා. "පල යකෝ යන්න !!!! තොපි අම්මලාගේ ආදරේ හෑල්ලුවට ලක් කරනවා." කියලා එකාසීරුවට බැනගෙන බැනගෙන යන්න ගත්තා.

"නෑ බං මෙහෙම හිතහංකෝ. ස්බාවිකව ළමයෙක් ලැබෙද්දි අම්මා ගොඩක් වේදනාවක් විඳිනවා. ඒ අම්මට ඒ වේදනාව දරාගන්නත් හරි අමාරුයි. ස්බාවදර්මයා මෙහෙම වේදනාවක් අම්මෙකුට දෙන්නේ අම්මගේ ආදරේ ඒ දරුවා කෙරෙහි තියාගන්න." තව එකෙක් පෝර දැම්මා.

"ඔවු එහෙම වෙන්නත් පුලුවන්. නැත්නම් සත්තු උනත් පැටවු හම්බ උනාම දාලා යන්න බලනවනේ. ඒ උනාට අම්මා කෙනෙක් ආදරේ නෝමල් ලැබෙන ළමයින්ගෙයි සිසෙරියන් කරලා ලැබෙන ළමයින්ගෙයි කියලා එහෙමට වෙනසක් නැතුවැති !!!!" මං කිව්වා.

කොහොමහරි ඔය තර්කය සෑහෙන වෙලාවක් තිබ්බා. ඒක හන්දම එද දවස පාඩම් කරන්න උනේ නෑ. අපේ යාළුවෝ තර්ක කරන විදිහට නෝමල් ලබෙන ළමයෙක්ට අම්මා දක්වන ආදරේ සිසේරියන් කරලා ලැබෙන ළමයෙක්ට අම්මා දක්වන ආදරේට වඩා වැඩියි ලූ. ගොඩක්ම නෙමෙයි. පොඩි ප්‍රමාණයකින් ලූ !!!!

ඔය ආදරයේ තියෙනවයි කියන පොඩි ප්‍රමාණය හන්දා එදා දවසම වැඩක් කරගන්න බැරි උනා.

ඇත්තටම අම්මා කෙනෙක් සිසේරියන් සැත්කමකට පස්සේ ලැබෙන ළමයට වඩා සාමාන්‍ය විදිහට ලැබෙන ළමයට ගොඩක් ආදරේ ද ? මට නම් උත්තරයක් නෑ. දන්න කෙනෙක් පහලින් කමෙන්ට් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.


06 September 2011

අදින් ඉවරයි....

පහුගිය දවස් ටිකේම මහන්සි උනේ මගේ අන්තිම විභාගේ ගොඩ දාගන්න. ඔන්න ඒකත් අදින් ඉවරයි. ඒක මතක් වෙනකොට හිතට ලොකු සැනසීමක් දැනෙන්නේ. මොකද පාඩම් කරන එක විභාග කරන එක කියන්නේ එපාම වෙන වැඩක්.වෙන විභාග වගේම අන්තිම විභාගෙත් පුලුවන් උපරිමයෙන් ගොඩ දාගන්න මහන්සි උනා. මගේ අන්තිම සටනට සුබ පතපු හැමදෙනාටම ස්තුතියි.

ඒ උනාට වෙනදා වගේ විභාගයක් ඉවර උනාම තියෙන සතුට මේ විභාගේ ඉවර උන දවසේ නෑ. ඒකට හේතුව තමයි මේ විභාගෙන් පස්සේ මගේ අවුරුදු හතරක (4ක් කිව්වට හතරාමාරක් !!!!) විශ්ව විද්‍යාල ජීවිතයත් ඉවර වෙනවා. ඒක ගැන මතක් වෙනකොටත් මාරම දුකයි.

අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගිහින් තව අවුරුදු 4ක් කැම්පස් එකේ ඉගෙන ගත්ත කාලේ වගේ සුන්දර කාලයක් නම් ආයේ එන එකක් නැති වෙයි.
දැන් ඉතින් පෑන පැත්තකින් තියන්න කාලේ හරි !!!!

කැම්පස් ආපුම අලුත නම් හිතුනේ මේ අවුරුදු හතර ඉක්මනටම ගෙවෙනවනම් ඒකත් ලොකු දෙයක් කියලා. මොකද ගෙදරින් පිට ඉදලා හොස්ටල් කෑම කකා ඉගෙන ගන්නවා කියන එක හිතන තරම් සුන්දර එකක් නෙමේ.නමුත් ටික කාලයක් ගතවෙනකොට මේ පරිසරයට ඉබේම වගේ අනුගත උනා. මේ පරිසරයට මේ ගොඩනැගිලි වලට ආදරේ කරන්න ගත්තා. (ගෑනු ළමයින්ටත් ආදරෙයි තමා.)

කොටින්ම කාලයක් ගතවෙනකොට පේරාදෙණි හුළඟත් සැපයි කියලා හිතෙන තරම් මේ පරිසරයට මේ කැම්පස් ජීවිතයට ආස කලා. !!!

ලෙක්චර්ස් ගියපු ලෙක්චර් වල නිදා ගනිපු එකට පිස්සු කෙලපු මේ වගේ කාලයක් ආයේ නම් එයි කියලා මම නම් හිතන්නේ නෑ. ඒ තරමටම ගෙවිච්ච කාලය සුන්දරයි.අවුරුද්ද මුලදි සදරු මල්ලි කියපු විදිහට අනිත් අවුරුදු වලට වඩා මේ අවුරුද්ද ගොඩක් මතකයේ තියේවි.මොකද ඒ තරමටම පිස්සු වැඩ කලා.

වෙනදා වගේම හොස්ටල් එකේ කාමරේ ජනේලේ ඇරපු ගමන් මීදුම් වලාවකින් වැහිච්ච හන්තාන මගේ ඇස් ඉදිරියේ මවපු චිත්‍රය නම් ආයේ අමතක වෙන එකක් නෑ. ඔක්කෝටමත් එක්ක බලාගන්න කියලා මම් ෆොටෝත් ගත්තා. මීදුමෙන් වැහුනට පස්සේ හන්තාන පේන්නේ නැති හන්දා මම් දවල් වෙලාවක තමයි මේ ෆොටෝ ටික ගත්තේ.
(ඔය පැත්තකින් පේන්නේ කාමරේ කැඩිච්ච ජනේලේ.)





කියන්න නම් ගොඩක් දේවල් තිබුනට මේ පෝස්ට් එක ගොඩක් දිග එකක් වෙන නිසා මම් මේ ලිපිය මෙතනින් නිමා කරනවා.

නමදිමු බැති පෙමිනි...
පේරාදෙණි සරසවි ජනනි....



අපේ සරසවි ගීතය ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න.

05 September 2011

අසල්වැසියෝ

අපේ කරදරයකදි එහෙමත් නැත්නම් දුකකදි අපේ නෑයන්ට කලින් ඇවිදිල්ලා අපට උදව් කරන කට්ටියක් තමයි අපේ අසල්වැසියෝ කියලා කියන්නේ. අසල්වැසියෝ ඉන්න එක වෙලවකට හොදක් උනාට පෙලක් වෙලාවට මාර වදයක් වෙන වෙලාවලුත් තියෙනවා.
---------------------------------------------------------------
අපි හිතමු අපි උසස් පෙළ සාමාන්‍ය පෙළ වගේ විභාගයක් කරලා ගෙදර ඉන්නවා කියලා. අන්න ඒ වෙලාවට,

"පුතා සාමාන්‍ය පෙළ කළා නේ ? කොහොමද ප්‍රතිඵල එහෙම ? " කියලා අහනවා. විභාගේ පාස් වෙලා තිබ්බොත් හොදයි. නැත්නම් ඉතින් ප්‍රශ්න වල ඉවරයක් නෑ. ඇයි ෆේල් උනේ ? මොනවද ෆේල් වෙච්ච විෂයන් ? ඔය වගේ නානාප්‍රකාර ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනා.

----------------------------------------------------------------
සමහර වෙලාවට අපේ කැම්පස් එකේ නිවාඩුවක් ලැබිලා මම් සති දෙකකට වඩා ගෙදර ඉන්නව දැක්කොත්,

"මොකෝ පුතා මේ දවස්වල ගෙදර ? කැම්පස් වහලද ? අපෝ ලංකාවේ කැම්පස් ගැන නම් කියලා වැඩක් නෑ!!! කොයි වෙලේත් වහලනේ. ඕවට ගියාම නිකන් වයස යන එක විතරයි වෙන්නේ !!!!"

ප්‍රශ්නෙත් අහලා උත්තරත් දීලා ඉවරයි. මට කතා කරන්න ඉඩ තියන්නේ නෑ. මාත් ඔන්න ඔහේ ඕන මඟුලක් කියන්න ඇරලා නිකා ඉන්නවා.

---------------------------------------------------------------
සමහර වෙලාවක ගෙදරක අවුරුදු 28ක විතර ගෑනු ළමයෙක් කසාද නොබැද ඉන්නවා දැක්කොත් අහල පහල එවුන්ගේ කටවල් පොපියනවා.

"දුව දැන් රස්සාවක් කරන එකේ නරකද කසාදයක් ගැනවත් හිතුවොත් ?" කියලා අහනවා.

ඒ වෙලාවට අර කෙල්ලගේ මූන රතු වෙනවා. ලැජ්ජාවෙන් උනත් කියනවා "දැන්ම බඳින්න බෑ ඇන්ටි !!!!" කියලා. බලාගෙන ගියාම ගෙදර අයට වඩා අමාරුවක් තියෙන්නේ අහල පහල එවුන්ට !!!!

කොල්ලෙක්ගෙන් එහෙම ඔය ප්‍රශ්නේ ඇහුවොත් "ඇන්ටි කැමති නම් මම් අද උනත් කැමතියි දුවව බාර ගන්න !!!!" කියලා කියනවා. එතකොට අර ප්‍රශ්නේ අහපු ගෑනි කට වහන් එතනින් රහත් වෙනවා.
---------------------------------------------------------------
අපි හිතමු කසාද බැඳලා අවුරුද්දකටත් වඩා වැඩි බබාලා නැති ගෑනු කෙනෙක් එහෙම දැක්කොත් ඒ ගෑනු කෙනා ඉදලා හමාරයි.

"ඈ... නංගි !!!! ඔයාලා බඳලා අවුරුද්දකටත් වැඩියි නේ!!! මොකෝ තාම සරු පාටක් නැත්තේ ??? " කියලා අහනවා.

ඒ වෙලාවට ඒ ගෑනු කෙනා මාර අපහසුතාවෙකට පත් වෙන්නේ.

"අනේ නෑ අක්කා !!! අපේ එක්කෙනාට ඕවට වෙලාවක් නෑනේ !!! එයා දැන්ම ඕවා ගැන හිතන්නේ නෑ ලූ !!!" කියලා ෂේප් වෙනවා. ඒක ඉතින් අර අහපු ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි කියලා දෙන්නම දන්නවා. මොනා කරන්නද ඒ වෙලාවේ කටට එන උත්තරේ දීලා දානවා මිසක් !!!

අපේ ගෙවල් පැත්තේ ඔහොම ගෑනු කෙනෙක්ට ගෙවල් ලග හිටපු කෙනෙක් ඔහොම කිව්වට පස්සේ "ඇඳට බෙඩ් ෂිට් එකක් දාලනේ තියෙන්නේ !!!!" කියලා කිව්වා. මම තාම කල්පනා කරන්නේ මොකක්ද මේ බෙඩ් ෂීට් කතාව කියලා.
----------------------------------------------------------------

එහෙම උනත් අහල පහල අය එක්ක යාප්පුවෙන් ඉන්න එක හොදයි. මොකද නැත්නම් කවුරුහරි ඇවිත් ගෙදර එවුන්ව මරලා දාලා ගියත් අහල පහල එවුන් පැත්ත හැරිලා බලන්නේ නෑ. ඒවගේම තමයි අසල්වැසියෙකුගේ දුකකදී කරදරයකදී අපි උනත් ගිහින් කරන්න පුළුවන් උදව්වක් කරන්න අමතක කරන්නත් හොද නෑ.


ප.ලි. - තාම විභාග ඉවර නෑ. ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ ලිපියක් තමයි මේ පබ්ලිෂ් කරන්නේ.

01 September 2011

අපිරිසිදුම කඩ කෑම

ලංකාවේ අපිරිසිදුම කෑම ජාතිය මොකද්ද කියලා ඇහුවොත් එක එක අය එක එක උත්තර දෙයි. සමහරු කියයි හෝටල් කෑම ඔක්කොම අපිරිසිදුයි නේ කියලා. ඇත්ත !!! ඔක්කොම හෝටල් කෑම අපිරිසිදුයි තමා. ඒත් මම් අහන්නේ මොකද්ද අපිරිසිදුම කෑම ජාතිය කියලා.

ලංකාවේ තියෙන අපිරිසිදුම කෑම ජාතිය තමයි ඉඳිආප්ප !!!!

" කොහොමද ඉඳිආප්ප අපිරිසිදුම කෑම ජාතිය වෙන්නේ ? " . වෙන්නේ මෙහෙමයි.

ඔය හොටල් වල ගොඩක් වෙලාවට ඉඳිආප්ප හෝටලේදි හදන්නේ නෑ. පිටින් ගෙනල්ලා විකුණන්නේ. ඉස්සෙල්ලාම ඉඳිආප්ප හදන ගෙදරදි ස්ටීමරෙන් ඉඳි ආප්ප ටික ඇතුල්පතට හරි වට්ටියට හරි හලනවා. ඊට පස්සේ අතින් අල්ලලා එක එක ඉඳිආප්ප තට්ටුවෙන් ගලවලා පිඟානකට හරි පෙට්ටියකට හරි දානවා. ඊට පස්සේ කවුරුහරි එක්කෙනෙක් ඒ ටික ගනන් කරලා පෙට්ටියක අඩුක් කරනවා.

ඉන්පස්සේ ගෙදර කවුරුහරි එකෙක් ගිහින් ඉඳිආප්ප ටික කඩේට දානවා.

"කොලුවෝ මේ ඉඳිආප්ප ටික ගැනලා ගනින් !!!!" කියලා මුදලාලි කිව්වම කොලුවත් ඒ ටික ගැනලා ෂෝකේස් එකක අඩුක් කරනවා.

ඊට පස්සේ ඒ ඉඳිආප්ප ගන්න කඩේට එකෙක් ආවම "මුදලාලි මට ඉඳිආප්ප හැටක් දෙන්න !!!!" කියලා ඉල්ලනවා. එතකොට අර කොලුවා අත්දෙක අර ඇදන් ඉන්න කිලුටු සරමෙන් පිහගෙන ඇවිත් ආයෙම අර ඉඳිආප්ප ටික ගැනලා පාර්සලයක් හදලා දෙනවා.

ඒ ටික ගෙදර ගෙනාවම "මෙන්න ලොකු පුතාට ඉඳිආප්ප 20ක් !!! මෙන්න පොඩි එකාට 20ක් !!!" කියලා ඒ ටික ආයෙම ගැනලා පිඟන් වලට දාල දෙනවා. ඊට පස්සේ කට්ටියම හොදි දාගෙන කනවා !!!!!

කොහොමද වැඩේ !!! කීදෙනෙක් කීපාරක් ගනන් කලාට පස්සෙද අපි ඉඳිආප්ප ටික බඩට යවා ගන්නේ !!!! ඉතින් අපිරිසිදුම කෑම නොවී තියේ යෑ !!!!
----------------------------------------------------------------
ප.ලි. - මේ කතාව මට මතක් උනේ අපේ අම්මා උදේට කන්න කියලා ඉඳිආප්ප ගෙනාපු වෙලාවේ.අද මං ඇහැරෙනකොට පරක්කු උනා.ඒ වෙනකොට මල්ලිට ගෙනාපු පාන් බාගේ මට තියලා මට ගෙනාපු ඉදිආප්ප ටික මල්ලි කාලා !!!!! අම්මෝ ඇති යාන්තන් මං බේරුනා !!!!