29 March 2011

ගෙදර යන අතරමග


මේ දවස්ටිකේ අනිත් අය ලියපු බ්ලොග් සටහන් කියව කියවා හිටියා මිසක් මුකුත් ලියන්න කියලා දෙයක් තිබුනේ නෑ. පහුගිය දවස් ටිකේ විභාගයට පාඩම් කරලා විභාගේ ලියලා ඉවර වෙලා මාසෙකට විතර පස්සේ සති අන්තයේ ගෙදර ගිහින් එන්න කියලා ගියා.දවල්ට කැන්ටිමෙන් දවල්ට කාලා බෑග් එකත් අරගෙන පේරාදෙණි ස්ටේශන් එකට ආවා. ආවට පස්සේ තමයි හිතුනේ ආපු මෝඩකම කියලා. උඩරට මැණිකේ කෝච්චිය පැය දෙකක් ප්‍රමාදයි කියලා නිවේදනය කලා.
ඊට පස්සේ මුළු දුම්රිය දෙපාර්තුමේන්තුවම මතක් කර කර ආයේ පාරට එන්න හදනකොටම ස්ටේශන් එකේ එක පැත්තක මිනිස්සු ගොඩක් වටවෙලා හිටියා. මමත් පොඩ්ඩක් එබිකම් කරලා බැලුවා. අපොයි...... ගෑනු කෙනෙක්, නුවර ඉදලා ආපු කෝච්චියට පැනලා දිවි නහගෙන.සංසරේ එපා උනා. මිනියක් කියලා ගන්න දෙයක් නෑ. මේ මිනිස්සු මොකට දිවි නහ ගන්න හදනවද මංදා. ඒ ගෑනු කෙනා නුවර ඉස්පිරිතාලේ ඇටන්ඩන්ට් කෙනෙක් ලු.

ප්‍රශ්න කියන දේ මනුස්ස කාටත් පොදු දෙයක්. එහෙව් එකේ රේල් පීලී අතර ජීවිතය තියලා ඒ ප්‍රශ්න විසදගන්න හදන එක නම් මහම මහ මෝඩ කමක්. මොන ප්‍රශ්නේ තිබ්බත් ඒවා විසදගෙන ජීවත් වෙන එක තමයි කරන්න ඕනේ. ඒ ඇරෙන්න මෙහෙම දේවල් කරගන්න හිතන්නවත් හොද නෑ. මේකෙන් වෙන්නේ තියෙන ප්‍රශ්න විසදෙන එකට වඩා තව තවත් ප්‍රශ්න දිග්ගැස්සෙන එක.

එහෙම හිත හිත පාරට ආවා.

පැය භාගයක් විතර පාරට වෙලා බලාගෙන ඉදලා අන්තිමේ දි වැලිමඩ බස් එකක් ආවා. මමත් ඉක්මනට ඒකට ගොඩ උනා. මොකද ඒකේ ගියොත් ඉක්මනට යාගන්න පුලුවන් නේ.බස් එකට නැග්ග ගමන්ම සීට් එකක් ලැබුනා. ඒකේ වාඩි වෙලා නින්දකුත් දාගෙන ඉන්නකොට කොන්දොස්තර ඇවිත් ටිකට් ගන්න කියලා කෑගහන්න පටන් ගත්තා. මමත් බහින්න ඕන තැන කියලා ටිකට් එකක් දෙන්න කිව්වා. එක පාරටම රුපියල් එකසිය හතලිස් අටක ටිකට් එකක් ලියලා දුන්නේ නැතෑ.

ටිකට් එක අතට ගත්ත ගමන් මට තරු පෙනුනා. මොකද මගේ සන්තකේටම තිබුනේ රුපියල් එකසිය දහයයි. වෙනදට ඔය දුරම මම රුපියල් සියයකින් යන හන්දා මම හිතුවේ කොන්දා අයියට ගාන වැරදිලා කියලා.

පස්සෙ මම ගාන වැරදියි නේද අයියේ කියලා අහපු ගමන් මේකා කියපි " මේක සෙමියක් ඒ නිසයි ඔය ගාන ගන්නේ" කියලා පස්සෙ තමයි කරපු මෝඩකම තේරුනේ. බස් එකට නගින්න කලින් සෙමියක්ද නෝමල් එකක්ද කියලා බලන්නේ නැතුවනේ ගොඩ වෙලා තියෙන්නේ.මම මගින් බැහැලා යන්න හදද්දි ටිකට් එක ලියලා හින්දා බහින්න දුන්නෙත් නෑ. බැනුම් ගොඩක් අහගෙනම ගේ ලගින්ම බැහැ ගත්තා.ගෙදර යනවා කියන එකත් හිතන තරම් ලේසි නෑ කියලා එදා මට හිතුනා.

ගෙදර ගියාමත් අර කෝච්චියට පැනලා දිවි නහ ගත්ත නුවර හොස්පිට්ල් එකේ ඇටන්ඩන්ට් ව මතක් වෙලා ඇගේ හී ගඩු පිපෙන්න ගත්තා. ඉස්සර පංති යනකාලේත් ඔහොම දේවල් දැකලා තිබුනට මේ සිද්ධියෙන් මට මාරම කම්පනයක් තිබ්බේ. ඔයවගේ මට මතක තව සිද්ධියක් මම උසස්පෙල කරන කාලේත් උනා. ඒකනම් සිද්ධ උනේ රේල් ගේට්ටුව වහලා තියෙද්දී හදිස්සියට රේල් පාර මාරු වෙන්න ගියපු වෙලාවක. එක විනාඩියක් ඇතුලත ඒ මනුස්සයාගේ ජීවිතය නැති උනා. ඒ වගේම ඒ මනුස්සයාගේ දරුවන්ට තාත්තෙක් නැති උනා. මේ පෝස්ට් එක කියවන ඔයාලාත් කවදාවත් හදිස්සියට මේවගේ දේවල් කරන්න යන්න එපා. විනාඩියක ප්‍රමාදයක් වලක්වාගන්න ගිහින් ඒ මනුස්සයාට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධ උනා.


ප.ලි. - ගොඩ දවසකට පස්සේ ඇවිත් එපාමකරපු පෝස්ට් එකක් දැම්මයි කියලා දොස් කියන්න එහෙම එපා හොදේ.

15 March 2011

අපල කාලයක්


මේ මාසෙම එක එක්කෙනා ලියන බ්ලොග් සටහන් කියව කියවා ඉදලා මමත් ලිපි ටිකක් පල කරලා සන්තෝසෙන් හිටියා. ඒ උනාට ඒ සතුට වැඩි කාලයක් තියෙන්න ලැබුනේ නෑ. දන්නෙමත් නැතුව විභාගයක් අත ලගට ඇවිත්. මට නම් දැන් විභාග වලට ලියලම එපා වෙලා. මේ වෙනකොට පුදුම විභාග ගොඩක් ලියලා තියෙන්නේ.

එක විශයක ප්‍රශ්න පත්තරේකට නම් උත්තර ලියා ගත්තා. අනිත් විශයයට පාඩම් කරන්න ඉරිදා ඉදලම පටන් ගත්තා. පාඩම් කරන අතරතුරේ මට කෝල් එකක් ආවා කලින් කරපු සබ්ජෙක්ට් එක කරපු මිස්ගෙන්. කෝල් එකේ තිබ්බේ මෙහෙමයි.

" හෙලෝ මම මේ කම්පයිලර්ස් සබ්ජෙක්ට් එක උගන්වන **** මිස් කතා කරන්නේ. ඔයා චින්තක නේ ද ? ඔයා එග්සෑම් එක රිෂෙඩුල් (Re-schedule)කරන්න කියලා ඉල්ලලා තිබ්බා නේ. කවද්ද ඔයාට එග්සෑම් ලියන්න පුලුවන් අගහරුවාද ද බදාද ද ?"

ඔහොම තමයි කෝල් එකේ තිබ්බේ.මම හිතුවේ මාව අන්දන්න හදන්න අපේ බැච් එකේ කෙල්ලෙක් දීපු කෝල් එකක් කියලා. මමත් ඉතින් රටේ නැති ටෝක් ගොඩක් ඉෂූ කලා. කවදා කාපු චීස් ද.කවද්ද මිස් කෙනෙක් මට කෝල් එකක් දීලා එග්සෑම් ලියන්න එනවද කියලා ඇහුවේ. එග්සෑම් එකක් මිස් (miss) උනොත් ඒ විශය උගන්වන සර්ගේ හරි මිස්ගේ හරි කේශාන්තයේ ඉදලා පාදාන්තය වෙනකන්ම වැදලා තමයි විභාගේ ආයේම ලියන්න දාගන්නේ. අනිත් එක තමයි ඔය වගේ බයිට් කේස් කොහෙන්හරි මටම තමයි කඩා පාත් වෙන්නේ. ඒ නිසා ඒ ගැන පුදුම අත්දැකීම් ගොඩක් මට තියෙන්නේ. ගොඩක් වෙලාවට බයිට් කේස් එකක් ක්‍රියාත්මක කරන්න කලින් ටෙස්ට් කේස් එක විදිහට මට මුහුන දෙන්න වෙනවා.

(කොහොමහරි කතා කරපු මිස්, ෆෝන් එක දඩස් ගාලා තිබ්බා.)

ඊයේ තමයි දන්නේ මිස් ට වැරදිලා වෙන චින්තකයෙක්ට කතා කරන්න ඕන එකක් මට කෝල් කරලා කියලා. මොකද අපේ බැච් එකේ චින්තක කියන නම තියෙන දෙන්නෙක් ඉන්නවා. කොහොමහරි ඒ වෙනකොට මට බබා හම්බ වෙලා. දෑන් පලයන්කෝ මිස් ව හම්බ වෙන්න. අගහරුවාදා දවසේ යන්න විදිහක් නෑ. සර් ලා උද්ගෝෂනයක්. ඒකටත් බදාදා වෙනකන් ඉන්න ඕනේ. වෙච්ච වැරැද්දට ඔය මිස් ව හම්බ වෙලා සමාව ගත්තේ නැත්නම් ඒ විශය පාස් වෙන එක හිතින් අත ඇර ගන්න වෙනවා. ඒ තරමට අපේ මිස්, සුන්දර වනිතාවක්.

මොන කරුමෙකට ද මන්දා මම කම්පියුටර් කරන්න ආපු දා ඉදන් ඩිපාර්ට්මන්ට් (Department) එකට එන ගෑනු පරාන වලින් අපලයි. මට මතකයි එක සැරයක් වෙන මිස් කෙනෙක්ගේ ලෙක්චර් එක වෙලාවේ වහලේ සීවිලිම දිහා බලාගෙන ඉදලා අහපු ප්‍රශ්නෙට උත්තර දීගන්න බැරි උනා කියලා රෙදි ගැලවෙන්න බැන්නා.මට ඉතින් ඉංග්‍රිසි තේරෙනවනම් ඔය කියන දේවල් අහගෙන ඉන්නවනේ.

කොහෙන් ගියත් ඕවා මටමයි කඩා පාත් වෙන්නේ. මොනවා කරන්නද මේ ඔක්කොම අමතක වෙලා යන්න කියලා අද තියෙන 'විදූ' ෆිල්ම් එකවත් බලලා ඉන්නවා.

චින්තක කියන මට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව පතාගෙනම යන්නම්. !!!!

----------------------------------------------------------------
ප. ලි.- නමේ අකුරුවල මොකක්හරි අපලයක්වත් තියෙනවද කියලා බලා ගන්න ඕනේ.

14 March 2011

මගේ ආදර කතාව


හැමදාම ගතකරන ඒකාකාරි ජීවිතයෙන් මිදිලා චුට්ටක් වෙනසකටත් එක්ක කියලා පොතක් කියවන්න ඕනේ කියලා හිතුන නිසාම අදත් කැම්පස් එකේ ප්‍රධාන පුස්තකාලයට ආවා. පොත් එකින් එක තෝරන අතරේ අහම්බෙන් වගේ දැක්කේ ඔයාගේ ඔය ලස්සන අහිංසක හිනාවයි. එක පාරක් බලලා හිතට මදි කියලා හිතුන නිසාම තව පාරක් බැලුවා. ඒත් හිතට මදි...

මොනවා කරන්නද කාලය මට හරස් වෙලා. මට දේශනයකට යන්න තියෙනවා. ආයෙත් දවසක එන්න හිතාගෙන මම පුස්තකාලයෙන් එලියට බැස්සා.

දේශන ඉවර වෙලා හැන්දෑවේ පාඩම් කරන්න කියලා පොත් අතට ගත්තා. මොන .... පාඩම් කිරිල්ලක් ද ? පොත් වල පිටු අතරේ ඔයාගෙ ඒ හිනාව පේන්න ගත්තා. අකුරු අතර ඔයා දග කරන්න පටන් ගත්තා. ඔයාට පුදුම දැඟලිල්ලක් තමයි තිබුනේ. එ උනාට ඒ ගතිගුණ වලට මම ආස කළා.

පහුවෙනිදා අයෙත් ඒ වෙලාවට ම පුස්තකාලයට ගියේ ඔයාව දකින්න තියෙන ආසාවට කියලා හිත කියනවා. ජීවිතයේ ප්‍රථම වතාවට හිත කියපු දේකට අවනත වෙලා මම පුස්තකාලයට ආවා. එදත් ඔයා යාලුවෝ ගොඩක් අතරින් යද්දි මම ඒ දිහා ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව බලාගෙන හිටියා. ඔහොම දින ගණනක් ගෙවුනා. මටත් නොදැනිම මගේ හිත ඔයාට ආදරය කරන්න ගත්තා. ඒක මහ බොලඳ සිතුවිල්ලක් කියලා හිතුන වාර ගණන අනන්තයි . ඒත් මම ඔයාට ආදරෙයි.

හැමදාම මේ ආදරය හිතේ තියාගෙන ඉන්න බෑ.හිතට මහ බරක්. කොහොමහරි ඔයාගේ ආදරය ලබා ගන්නවාමයි කියලා හිතලා ඔයාගේ ෆැකල්ටියේ හිටපු මගේ යාලුවෙක්ගෙන් ඔයාගේ දුරකතන අංකය ඉල්ල ගත්තා. එදා මට ගොඩක් සංතෝස දවසක්. මම ගැහි ගැහී ඔයාට ඇමතුම ගත්තා. ඔයා දන්නේ නැති අංකයකින් ආපු ඇමතුමක් හින්දා වැඩිය කතා කලේ නෑ . ඒ උනාට මට ඒ හොදටම ඇති. ඊට පස්සෙ ඔයා මම දීපු කිසිම ඇමතුමකට උත්තර දුන්නෙ නෑ.

එ දවස්වල මම ගොඩක් දුකෙන් ගත කලේ. මම ඔයාගෙන් අහනවම යි කියල හිතලා දවසක් ඔයා දේශන ඉවර වෙලා එනකන් ඉදලා ඔයාගෙන් ආදරේද කියලා ඇහුවා මතකද ? ඔයා එදානම් මට හොදටම බැන්නා. ෆෝන් නම්බර් එක මාරු කරනවා කියලත් කිව්වා. ඒත් මම ඔයාට ආදරෙයි නේ. දවස් දෙක තුනකට පස්සෙ මම ආයෙමත් ඇහුවා. එතකොට ඔයා අර විදිහට මට බැන්නේ නෑ. මට පුදුමත් හිතුනා.

ඔයා පස්සෙ හිතලා උත්තරයක් දෙන්නම් කියලා කිව්වා. ඒත් කවද ද කොහේදිද කියලා කිව්වේ නෑ. මං ඔයාගේ උත්තර එනකන් ඇගිලි ගැන ගැන බලාගෙන හිටියා. ගනින්න ඇගිලිත් මදි උනා. දවසක් මට දුරකතන ඇමතුමකින් ඔයා මට ආදරෙයි කියලා කිව්වම මට මුලු හොස්ටල් එකටම ඇහෙන්න කැ ගහන්න හිතුනා. ඔරලෝසුවේ කටු, ටික වෙලාවකට නැවතුනා කියලා හිතුනා. හර්දය වස්තුව විනාඩියට එකසිය විස්සක විතර වේගයකින් ගැහෙන්න ගත්තා. මොනවද කියන්නේ කියලා හිතා ගන්න බැරි උනා. කොටින්ම ඒ මොහොතේ මම මුකුත්ම දන්නෙ නැති අත දරුවෙක් වගේ උනා.

ඔයා දන්නවද එදා අපි පටන් ගත්ත ඒ ආදරයට අදට අවුරුද්දක් ගෙවෙනවා. එදාටත් වඩා මම ඔයාට ආදරෙයි. මගේ ජීවිතයම දැන් ඔයා. මේ ලිපිය කියවන ඔයාලට හිතෙයි මම මහ බොලඳ කොල්ලෙක් කියලා. මොනා කරන්නද මම ආදරේ කරන්න දන්නෙ ඔහොම තමයි. මගේ සුදු මැණිකෙට දළදා සමිදු පිහිටයි.

------------------------------------------------------------
ප.ලි. - ප්‍රධාන පුස්තකාලය අසල තිබී අහුලා ගන්නා ලද ලිපියකින් උපුටා ගන්න ලද්දක් වන අතර මෙය මධුරංග වන මාගේ ආදර කතාව නොවන බව සියලු හිත මිත්‍රාදීන් ඉතා සංවේගයෙන් පිලි ගනිත්වා !!!!

12 March 2011

ලිනක්ස් වලට සිංහල ඩික්ශනරියක් | Sinhala Dictionary for Linux

නෙට් කනෙක්ශන් එක අප්ඩේට් වෙන්න තව තියෙන්නේ දවසයි. මේ මාසෙට මගේ වී කෙයාර් ඕල් වේස් කනෙක්ශන් එකේ 300MB ඉතුරු වෙච්ච හින්දා මොනාහරි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ කියලා හිතුනා.

ඩවුන්ලෝඩ් කරන්න හිතුවට මොකෝ ඔය සොච්චමට ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න කියලැයි. 300MB ෆිල්ම් එකක් උනත් ඩවුන්ලෝඩ් කරන්න යද්දි දෙ තුන් පාරක් කනෙක්ශන් එක නැති උනාම ඒකෙනුත් වැඩක් නැහැනේ . මොකද පේරාදෙණියට ඔය ඕල් වේස් කට්ටියගේ 3G සිග්නල් ගොඩක් අඩුයි .

ඒ නිසා මගේ කම්පියුටර් එකේ ලිනක්ස් වලට ලාටෙක් (LaTeX) වත් දාන්න ඕනෙ කියලා හිතුනා. ලාටෙක් කියන්නේ ඔය ඩොකියුමන්ට් (Word, Powerpoint, වගේ ඒවා. )එහෙම හදන්න ගන්න ප්‍රෝග්‍රෑම් එකක් හැබැයි ඔෆිස් වල තරම් ලේසි නෑ.තනිකරම කෝඩ් එකෙන් තමයි ඔය සේරම ඩොකියුමන්ට් එකම හදන්නේ.කෝඩ් එක ලියලා කම්පයිල් (Compile) කලාම හැදෙන්නේ අපට ඕන කරන pdf එක. මේකේ වාසිය තමයි පිටු ඕනම ගානක ඩොකියුමන්ට් හදන්න පුලුවන්. වර්ඩ් වල පිටු සියයක් පනිද්දි මාර ලෙඩ දෙන්නේ. ඒ අතින් මේ ක්‍රමය නියමයි.

ආහ් තව පොඩ්ඩෙන් කියන්න ආපු කාරනාවත් අමතක වෙනවා. ලාටෙක් ඉන්ස්ටෝල් කලාට පස්සේ මට හිතුනා ලිනක්ස් වලට හදපු සිංහල ඩික්ශනරි (Dictionary) එහෙම නැද්ද කියලා හොයන්න. එහෙම හොයාගෙන යද්දි මට පට්ට ඩික්ශනරි එකක් ලැබුනා. සමහරවිට ඔයාලා මේක දැනටමත් පාවිච්චි කරනවා ඇති. දන්නේ නැති අයටවත් මේක ප්‍රයෝජනවත් වෙයි නේ. මේකෙන් වචනයක් හොයන්න මාරම ලේසියි කරන්න තියෙන්නේ වචනේ උඩ ඩබල් ක්ලික් කරන්න විතරයි.

මෙහෙමයි ඉන්ස්ටෝල් කර ගන්නේ....

පියවර 01
ලිනක්ස් ටර්මිනල් එකේ පහත කමාන්ඩ් එක ටයිප් කරලා Enter කරන්න.
apt-get install stardict

පියවර 02
මෙකෙන් වෙන්නේ ඩික්ශනරිය ඉන්ස්ටෝල් වෙන එක විතරයි. සිංහල දාන්නේ මෙහෙමයි.සිංහල ඩික්ශනරි ෆයිල් ටික මෙතනින් අරගන්න.ඩවුන්ලෝඩ් වෙන ටාර් (.tar) ෆයිල් එක පහත කමාන්ඩ් එකෙන් එක්ස්ට්‍රෑක් (extract) කර ගන්න.
tar -xzvf sinhala-stardict-120908.tar.gz

පියවර 03
ඊට පස්සේ එක්ස්ට්‍රෑක් ගර ගත්ත ෆයිල් ටික /usr/share/stardict/dic ඔය පාත් එකේ dic ෆෝල්ඩරයට කොපි කරන්න.

පියවර 04
දැන් Accessories සබ්මෙනු එකේන් ඩික්ශනරිය ඕපන් කර ගන්න පුලුවන්.

ඔය වගේ වින්ඩෝස් වලටත් ඩික්ශනරි තියෙනවද කියලා බැලුවා. ඒත් වැඩේ හරි ගියේ නෑ.මධුර ඩික්ශනරිය තියෙන නිසා අවුලක් නැහැනේ.

තව ලිනක්ස් වලට ඕන කරන සොෆ්ට්වෙයාර් ටිකකුත් දැම්මා. මේ ඔක්කෝම ඩවුන්ලෝඩ් කරලා එද්දි මගේ ඩොන්ගල් එකේ ෆ්‍රී ඩේටා ඉවරත් වෙලා Access Usage යන්නේ .හිනා වෙන්න එපා.මේ පෝස්ට් එක දාන්නෙත් යාලුවෙක් ගේ ඩොන්ගල් එකෙන්.

ප.ලි.- ලාටෙක් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය නම් මේ පහත කමාන්ඩ් එක ටර්මිනල් එකේ ටයිප් කොරලා එන්ටර් කරන එකයි ඇත්තේ. 100MB විතර ඩවුන් ලෝඩ් වෙනවා.
sudo apt-get install texlive

09 March 2011

අළු බදාදා


අද අළු බදාදා දිනයයි. ගොඩක් අයට මේ දිනය නුහුරු උනාට ලංකාවේ කතෝලික අයට නම් මේ දිනය සුවිෂේශ දිනයක්. මේ නුහුරු බව නිසාම නොදන්න පිරිසකුත් ඇතැයි කියලා හිතුන නිසා මේ දිනය ගැන චුට්ටක් කියලා දෙන්න හිතුවා.

අළු බදාදා දිනයේ මූලික ම විෂේශත්වය තමයි ' දූවිල්ලෙන් සැදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේ ය ' කියන දේව ප්‍රකාශය සිහිපත් කරන දිනය වීමයි. කිතුනු විශ්වාසයට අනුව ලොව මැව් දෙවියන් වහන්සේ මිනිසාව මැව්වේ පොලොවේ තියෙන පස් (දූවිල්ල) ටිකක් අරගෙන ඒ පස් ටිකට ජීවන හුස්ම හෙලීමෙන් කියලා සදහනක් තියෙනවා. එහෙම නිර්මානය කරපු මනුශ්‍යයා නැවතත් දුවිල්ල බවට එහෙමත් නැත්නම් කවදාහරි මේ මහපොලවට පස් වෙනවා කියන සදාතනික ධර්මතාව සිහි කරන්නේ මේ සුවිෂේශි දවසේ.

එදාට ලංකාවේ සෑම දේවස්ථානයකම වගේ දේව මෙහෙයක් (දිව්‍ය පූජාවක් ) පවත්වලා ගොක් කොල පුලුස්සන ලද අලු ආශිර්වාද කරලා ඒවා සංකේතාත්මකව තම නලලේ ආලේප කර ගන්නා නිසාම තමයි ඒ දිනයට අළු බදාදා කියන නම ලැබිලා තියෙන්නේ.

ලංකාවේ වගේම තමයි ලෝක වාසි ක්‍රිස්තු භක්තිකයනුත් එක වගේම මේ දිනය සමරනවා.

ඒ වගේම තමයි කිතුනු බැතිමතුන් චතාරික කාලය එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේ ජුදා හේවායන්ට හසු වීමේ සිට කුරුස ගසේ උකුත් වීම දක්වා සිද්ධි දාමය සිහි කරන කාලය පටන් ගැනීම සිදු වන්නේත් මේ අළු බදාදා දිනයට පසුවයි. කොටින්ම කියනවනම් කිතුනු බැතිමතුන් මේ කාල සීමාව හදුන්වන්නේ දුක්ප්‍රාප්ති කාලය කියලයි. මොකද මේ කාලයේදී තමයි කිතුනු දහම ලොවට ප්‍රකාශ කල ආගමික නායකයාගේ දුක්ප්‍රාප්තිය සිහි කරන්නේ.


මේ කාල සීමාව තුල මස් මාංශ අනුභවයෙන්, නිරාහාර ශීලය රැකීමෙන්, විනෝද ගමන් බිමන් යෑමෙන් ඈත් වී දහමට සිත යොමු කිරීමට කිතුනු බැතිමතුන් වග බලා ගන්නවා. මේ කාල සීමාව අවසන් වන්නේ ජේසුස් වහන්සේ මරනින් නැවත නැගිටින එහෙමත් නැත්නම් මරනින් උත්ථාන වන පාස්කු ඉරිදායින්.

කිතුනු ඇදහිලි වලට අනුව දම් පැහැය මනස්ථාපනයේ පාට වශයෙන් සලකන නිසා මේ කාල සිමාවේදී දේවස්ථාන භාර පියතුමන්ලා දම් පැහැයෙන් යුතු වස්ත්‍ර වලින් සැරසී පූජා පැවැත් වීම සිදු කරයි.



07 March 2011

අදට අවුරුදු හතරයි...


අද හරියටම මාර්තු හත්වෙනිදා. මට වගේම මගේ බැච් එකේ සියලුම දෙනාට විශේෂ දවසක්. ඒ තමයි අපි මේ හන්තාන අඩවියේ අකුරු කරන්න ඇවිත් අදට අවුරුදු හතරක් ගෙවෙනවා. අපි මේ අඩවියට මුලින්ම පය ගැහුවේ 2007 අවුරුද්දේ මාර්තු හත්වෙනිදා.

එදා පලමුවෙනි දවසේ බයෙන් බයෙන් දෙමව්පියන්ගේ ආශිර්වාද මැද්දේ මේ අඩවියට ආවට මොකෝ හිතේ තිබ්බේ පුදුම නුහුරු බවක් ඒ වගේම බයක්. කවදාකවත් දැකපු නැති සහෝදර සහෝදරියෝ ටිකක්. ඒ වගේම දෙමව්පියන්ගෙන් වෙන්වෙලා නේවාසිකාගාරයක ජීවත් වෙන පලමුවෙනි අවස්ථාව.

මේ ඔක්කොමත් හරි පේරාදෙනියේ රැග් තියෙනවා කියලා එන්න කලින් කට්ටියම කිව්වම ඒ බයත් හිතේ තිබුනා. මොනවා කරන්නද ? ඕන දෙයක් ඉවසගෙන ඉන්නවා කියන අධිශ්ඨානය, ඒ බය යටපත් කරන්න පුංචිම පුංචි උත්සහයක යෙදුනා. ආවට පස්සෙ තමයි තේරුනේ කියපු තරම් යකා කලු නෑ කියලා. අපිට වඩා වසරකට කලින් ආපු අයියලා අක්කලා අපිව සහෝදරත්වයකින් පිලි ගත්තා.

එදා ඉදලා අපේ බැච් එක, එකම සොයුරු පෙමින් එකා මෙන් හිටියා.අදටත් ඒ සහෝදරත්වය එහෙම්ම අපේ හිත් වල තියෙනවා. ඉදලා හිටලා පොඩි ආරවුල් ඇති උනාට ඒවා අපේ සහෝදරත්වය කඩලා දාන්න තරම් ශක්තිමත් නැහැයි කියලා අපට අද හිතුනා. තමන්ගේ දුකකදි තමන් තනි නැහැයි කියලා හිතෙන තරම් ඒ සහෝදරත්වය ශක්තිමත්. විටෙක සිනාසුනෙමු. විටෙක එකට හිද දුක් වුනෙමු. මේ සියලු දේ මැද වසර හතරක් ගෙවූනෙමු.

ගෙවිලා ගිය වසර හතරක කාලය තුල වසන්තයේ අග සංගීත සංදර්ශනයට වේදිකාව සකස් කලෙමු. අරුණැල්ල සාමාන්‍ය පෙල සම්මන්ත්‍රන මාලාව තුලින් දුශ්කර පාසල්වල අපේම නංගිලා මල්ලිලාගෙ හෙට දවස එලිය කරන්නට අරුනැල්ලක් උනෙමු. ඒ වගේම නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් උගුර ලේ රහ වනතුරු කෑ ගැසුවෙමු. ඒ අතර කදුලු ගෑස්, රබර් උණ්ඩ, ජල ප්‍රහාර වලටද ලක් උනෙමු.

මේ සියලු දේ මැද ජීවිතයේ සුන්දරම වූ වසර හතරක් අපට නොදැනී ගිවි ගිහින්.
වසර හතරක් ගෙවෙන මේ මොහොතේ අපෙන් සදහටම වෙන් වෙලා ගිය මාලක ප්‍රසාද් හා රසික රොහාන් සොයුරන් දෙපලවත් අපි ආදරයෙන් මතක් කරනවා. ඒ අතරම නිදහස් අධ්‍යාපන අයිතීන් ලබා දීමට කැපකිරීම් කල ශිෂ්‍ය වීර වරුන්වත් ආදරයෙන් මතක් කරමි....

හන්තාන අඩවියේ මැදුරු කුලුනු සුදු සදලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ......


සියලු දෙනාට ජය වේවා !!!!

06 March 2011

අවිඳු අඳුරෙන් වැසුණු ජීවිතය...

සිය වසකටත් අඩුව ගෙවන ජීවිතය...
විටෙක සොම්නසද විටෙක දොම්නසද
තවත් විටෙක හිස් බවද රැඳී මේ ජීවිතය...
පිපාසිත මුව රැලක් මෙන් ලුහුබඳින
මායා මිරිඟුවක් වූ ජීවිතය...
බොහෝ සේ වෙහෙසවී හති දමා දුවන්නේ මේ කොහිද
ලොවේ බොහො දනන් සොයනවා නොවේද සන්තෝෂයක්
අරටුවක් ලෙසින් කෙසෙල් ගසක් වූ ජීවිතයේ...
නොලැබෙන්නේය කිසිවෙකුහට සැපක් සොම්නසක් නම්
සොයන විට එය අල්ලගෙනම ජීවිතය...
දරුණු වූ රෝගයන් නොයෙක් සිත් තැවුලින් පිරි
සිතූ විට යම් දෙයක් අනෙකක්ම සිදුවන මේ ජීවිතය...
කල යුත්ත වෙනතකය, කරන්නේ අනෙකක්මය
අවිඳු මහා ඝනඳුරින් වැසුණු මේ ජීවිතය...
කල නොහැක විශ්වාස, ගොදුරක් කරන්නට සැම වෙලේ
අර අදින මරු හටම දායාද වූ ජීවිතය...
මරණයෙන් නිම වෙන, කල කී සිතු දෑ පමණක් ම
රැගෙන යන ජීවිතය...
මවුපියන් නෑ සිය මිතුරන් ද හැර දමා, අලුත් ජීවිතයකට
මුල පුරන දම්වැලකි මේ ජීවිතය...

මැවුම්කරුවෙකු නොමැති ඉබේ ද හට නොගත්
හේතුවක් නිසා සකස් වුනු මේ ජීවිතය...
දකිති ලොව නැණැති දනන්, පවසූ ලෙසින් ගෞතම මුනිඳු
මහා දුක් ගොඩක් ලෙසින් මේ ජීවිතය...
නොකරමින් සැහැසිකම්, නොතෙපලමින් බොරු වදන්, නොසිතාම රාගයෙන්
අවබෝධ කල යුතුය මේ ජීවිතය...
දියුණු කල විට මනස නොපමාව වීරියෙන් හා මනා නුවණකින්
දැකිය හැක අනියත බවම පිරි ජීවිතය...
දකින විට අනියත බවත් දුක් බවත් කලකිරී නොඇල්මෙන්
නිදහස් විය හැකිය ජීවිතෙන්...
වළකමින් සියලු පව්, දියුණු කරමින් මනස, ලබාගෙන ප්‍රඥාව
මිදෙමු මේ ජීවිතෙන්...



තෙරුවන් සරණයි !!!

අසම්මත පෙම් කවිය



ආදරය අංශු මාත්‍රයක්
නොදැන සිටි
මට......
මගේ සිතට.....
කුලුදුල් හැගුමක් රැගෙන....
පිපුනා නුඹ...
සුදෝ සුදු තඹරු විලක් මැද...

තොරතෝංචියක් නැතිව දොඩන
ඔබේ ඔය දෙතොල් අග...
පිටු අතරින් පාවී ගිහින්....
නැවතුනේ මගේ ඇස...
නුඹේ ඔය සිනහව ලග

අනේ ඒ මුදු කුසුම
නෙලන්නට හිතෙයි මට.....
ඒත්..........
හිත ගැහෙයි
වරම් නැත මට ....
ලියන්නට
අසම්මත පෙම් කවිය
ඔබයි මගේ
ගුරුතුමිය....

02 March 2011

ආදරනීය මිතුරා අපෙන් සමු ගන්නා දිනය අදයි.....

අපේ විශ්ව විද්‍යාල සොහොයුරෙක් ගේ අවමංගල්‍යයක් ගැන කලින් පෝස්ට් එකකදි විස්තර කිව්වා මතක ඇති. අන්න ඒ යාලුවාගේ අවමගුලට සහභාගි වෙන්න කියලා ඊයේ උදෙන්ම අපි පිටත් උනා. අපි කිව්වේ මාත් එක්ක අපේ පීඨයේ සොහොයුරෝ දහ හතර දෙනෙක්. කට්ටියම කතාවෙලා වෑන් එකක් හයර් කරගෙන උදෙන්ම හොස්ටල් එකෙන් පිටත් උනා.

යාලුවාගේ ගෙවල් තිබ්බේ කුලියාපිටියට නුදුරු බෝතලේගම ගමේ. අපේ ගමන වැටිලා තිබ්බේ නුවර, කුරුනෑගල හරහා නාරම්මලට. නාරම්මල ඉදන් කුලියාපිටියට. කුලියපිටියේ ඉදන් බෝතලේගමට. ගමනේ මුලු දුර කිලෝමීටර් සියයක් විතර ඒත් යන්න ගියාම හෙන වෙලාවක් ගියා. කොහොමහරි දොලහා එක වෙද්දි කුලියපිටිය ටවුන් එකට ආවා. ඇවිත් කඩයක් ලගින් නැවැත්වුවා මොනාහරි අරන් යන්න කියලා.

කුලියාපිටිය ටවුන් එකේ වෑන් එක නවත්වගෙන ඉද්දී මට මගේ අතීත කතාවක් මතක් උනා.ඒකත් කියලම ඉන්නම්කෝ. දවසක් මමයි අපේ මල්ලිය් පුන්චිලාගේ ගෙදර යනවා කියලා කුලියාපිටියේ යාලුවෙක් ගේ ගෙදර ගියා. ඒ දවස්වල මමයි මල්ලියි ගොඩක්ම පොඩියි. ඒ හින්දා අපි ගියාට පස්සේ අම්මා පුංචිට කෝල් කරල තිබ්බා. අපි ආවද කියලා බලන්න.
අපි ආවේ නෑ කියලා කිව්වම අම්මා ගොඩක් බය උනා ලු. කොහොමහරි එදා රෑ අම්මායි ලොකු අම්මයි මාමයි ගොඩක් කට්ටිය වෑන් එකක් අරන් යාලුවගේ ගෙදර ආවා. අපිව දැක්කම අම්මට හෙනම කේන්ති ගිහින් අත ලග තිබ්බ විකට් පොල්ලක් අරගෙන දිගට හරහට නෙලන්න ගත්තා හයේ ඒවම !!!!

ඊට පස්සේ නැගපිය වාහනේට !!! කියලා කිව්වා විතරයි ඇහුනේ මමයි මල්ලියි දෙන්නම වෑන් එක ඇතුලේ. ආයේ ගෙදර යනකන් එක වචනයක්වත් කතා කලේ නෑ.

දැනුයි ඉස්සර කරපු මෝඩකම් මතක් වෙන්නේ. කුලියාපිටිය හන්දියේ වෑන් එක නවත්වලා සීනියි බිස්කටුයි ගත්තා.

මලගෙදරට ඇවිත් ගෙනාපු බඩු ටික ගෙදර කට්ටියට දුන්නා. එයැයිලගේ අම්මට නම් කතා කරගන්න බැරි තරම් දුකයි. මොකද අම්මෙක් කොහොමද තමන්ගේ දරුවගේ මලගමක් දකින්නේ. එයැයිලගේ අම්මා මතක්වෙන සැරයක් ගානේ අඩනවා බලාගෙන ඉන්න බෑ. කොඩි වැල් අදින්න උදව් කරලා එදා හවස් වෙද්දි ආයෙම එන්න පිටත් උනා.

බුදු හාමුදුරුවොත් පිරිනිවන් වැඩිය එකේ අපි ගැන කවර කතා ද කියලා හිතලා අපි එයාලට සමු දුන්නා. තවත් එක් ආදරනීය මිතු දමක අවසන මෙසේ සටහන් කිරිම සිද්ද වීම කොච්චර දුකක් ද ?


ආදරනීය රසික සොයුර ඔබට නිවන් සුව පතමි !!!!