27 November 2010

ජනප්‍රවාදයේ එන කතාවක්


වැඩ ගොඩක් තිබුන නිසා හුග දවසකින් බ්ලොග් එකක් දැම්මේ නෑ. අද පොඩි විවේකයක් ලැබුන නිසා පොඩි කතාවක් දාන්න කියලා හිතුනා. මේ දවස් ටිකේම කලේ බ්ලොග් කියවපු එක අද තමයි ලියන්න කියලා ඉස්පාසුවක් ලැබුනේ. මේ කතාව සමහරවිට ඔයාලා අහලත් ඇති. අහපු නැති අයත් ඇති කියලා හිතුන නිසයි මේ කතාව ලියන්නේ.

දැන් මං කියන්න යන්නේ ජනප්‍රවාදයේ එන කතාවක්. මේක මේ අල වර්ගයක නම හැදුන හැටි හා සම්බන්ධ ජනප්‍රවාදයක් . එහෙනම් හොදින් අහගන්නකෝ. මේ අල වර්ගය තමයි '' නගා මැරූ අල '' කියන්නේ.
මේ අල වර්ගය නම් කෑම ගන්නේ නෑ. මේ අල වල යම්කිසි විශ ගතියක් තියෙනවලු. ( මං "ලු" කියල කියන්නේ මේ අල වර්ගය උපන්තේකට දැකලා නෑ . කතාව විතරයි දන්නේ. )


ඔන්න දවසක් අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි (කුමාරයෙකුයි එයාගේ නංගියි ඉන්න මේ කතාවෙම තව සංස්කරණයක් තියෙනවා ) එයාලගේ දෙමවුපියන් නැති උනාට පස්සේ එයාලගේ නෑදෑයන්ගේ ගෙදර යන්න පිටත් උනාලු. මොකද නංගිට ආරක්ෂාවත් නැහැනේ දෙමව්පියන් නැති උනාම.

මේ ගමන වැටිලා තිබුනේ කැලෑවක් මැදින්ලූ. ගමන බොහෝම දුශ්කර එකක් ලු. ඉතින් මේ අය ගමනේ ටික දුරක් ගියාට පස්සේ ගිමන් හරින්න ඕනේ උනා. කොහොමහරි ගහක් යටට ආවට පස්සෙ අයියා තමාගෙ ඉනේ තිබ්බ පිහිය බිමට අත ඇරලා ගහක් යටින් හාන්සි උනා. අයියා පිහිය අතෑරපු පාරට ඒ පිහියේ තුඩ පොලවේ ඇනිලා තිබ්බලු. ( කුමාරයා ඉන්න කතාවේ කුමාරයාගේ කඩුව පොලවේ ඇන්නලු කියලයි තියෙන්නේ ) ඊට පස්සේ අයියා ගහ යටින් ඇල උනාම මහන්සියට අයියට දන්නෙම නැතිව නින්ද ගියා.

නංගි බුලත් විටක් කන්න කියලා මල්ලෙන් බුලතුයි පුවකුයි අරගෙන පුවක් ගෙඩිය සුද්ද කරන්න අර පොලවේ ඇනිලා තිබ්බ පිහිය ගත්තලු. ඒ පිහියෙන් පුවක් ගෙඩිය සුද්ද කරලා බුලත් විට කෑවයි කියමුකෝ . කෑවට පස්සේ නංගිට ලොකූ මත් ගතියක් දැනෙන්න ගත්තා .

ඒ වගේම නංගිට අයියා ගැන ආදරයක් ඇති උනාලු (සහෝදරකමක් එක්ක එන ආදරයක් නෙමෙයි . ස්වාමිපුරුශයයි බිරිදයි අතරේ තියෙන ආදරයක්. ) ඒ කියන්නේ නංගිට අර අයියත් එක්ක එකතු වෙන්න ඕනේ වගේ හැගීමක් දැනුනලු . ඉතින් මේ නංගි, අයියට පෙම් බස් කියවනවලු. ඒ වගෙම මේ යෝජනාවත් අයියට කිව්වලු. අයියට මේක අහපු ගමන් කේන්ති ගියා.

මොකද සහෝදර සහෝදරියෝ අතරේ ඔයවගේ සම්බන්ධකම් නැහැනේ. අයියට කේන්ති ගිය පාර අර පිහියෙන්ම නංගිට ඇනලා, නංගිව මැරුවා . ඊට පස්සේ මේ අයියා අහල පහල ගමකින් මිනිස්සු ටිකක් එක්ක ඇවිත් නංගිගේ මිනිය පෙන්නුවලු. පෙන්නලා මේ සිද්ධියත් කිව්වලු. ඊට පස්සෙ එතන හිටිය ගැමියෙක් කිව්වලු. නංගි ඔහොම හැසිරුන එක සාධාරණයි. ඕක සිද්ද උනේ පිහිය ඇනිල තිබ්බ තැන පොලොව යට තිබ්බ අල වර්ගයක් හින්දයි කියලා.

ඉතින් මේ අයියටත් කාරනාව තේරුනා . එතකොට වෙන්න තිබ්බ සේරම වෙලා ඉවරයි. ඊට පස්සෙ ඔය අල වර්ගයට ''නගා මැරූ අල '' කියල කිව්වලු. ඔය අල වර්ගය ගැන දන්න ගැමියෝ අදත් ඉන්නවා. ඇත්තටම මේ අල වර්ගයට ඔයවගේ හැගීම් ඇති කිරීමේ ශක්තියක් තියෙනවා ලු. ඔය වගේ සිංහල වෙද්දු අමුක්කරා කියලා අල වර්ගයක් බෙහෙත් වලට ගන්නවා. ඒ අල වර්ගයටත් ඔය හැකියාවම තියෙනවා කියලා මං පොතක දැක්කා.



21 November 2010

උපකුලපතිතුමා ගත්ත තීරණය නිවැරදි ද ???


පහුගිය දවස්වල වැඩ ගොඩක් තිබුන නිසා කතාවක් ලියන්න වෙලාවක් තිබුනේ නෑ. වැඩ පොඩ්ඩක් අඩු උන හින්දා අද කතාවක් දාන්න කියලා හිතුනා. අහම්බෙන් වගේ පරණ පත්තර කෑල්ලක් දැක්කා. ඒ පත්තර පිටුවේ තිබුන පුවතක් ගැන තමයි අද ලියන්න යන්නේ.

මේ සිද්ධිය නම් ගම් නැතිව කියන්නම්. මොකද මං කැමති නෑ පුද්ගලිකව කාගේවත් චරිතයකට මඩ ගහන්න. නමුත් මේ සිද්ධියේ හරි වැරද්ද මොකද්ද කියන එක විතරක් තෙරුම් ගන්න ප්‍රමාණවත් විදිහට ලියන්නම්.

සිද්ධිය මේකයි.

මේ වසරේ (2010) අගොස්තු 25 වන දින සවස 6.30 ට පමණ ලංකාවේ එක්තරා විශ්ව විද්‍යාලයක . විශ්ව විද්‍යාල පරිශ්‍රයේ බංකු මත වාඩි වී කතා කරමින් සිටි සිසු සිසුවියෝ ජොඩු හයක් , උපකුලපති තුමා විසින් රදවා තබා ගෙන ඒ එක් එක් සිසුවා සමග සිටි සිසුවියගේ කන්‍යාභාවය පරික්ෂා කිරීම සදහා විශ්ව විද්‍යාලයේම ගිලන් රථයකින් ලගම පිහිටි රජයේ රෝහලකට යවන ලදැයි කියන සිද්ධියයි.

ඇත්තටම මෙම අවස්ථාවේ දී උපකුලපති තුමා ගත් තීරණය නිවැරදි ද යන්න පිලිබද සලකා බැලීමක් සිදු කරමු. සාමාන්‍යයෙන් ලංකාවේ විශ්ව විද්යාලයකට තේරී පත් වන්නේ වයස අවුරුදු 18 ඉක්මවූ තරුණ තරුණියන් වේ. තවද මොවුන් ලංකාවේ නීතිය ට අනුව ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස පිලිගනී. මේ නිසා මොවුන්ට හොද නරක තෝරා බේරා ගත හැකි අවධියක සිටින බව අප කවුරුත් දන්නා කරුණකි.

මේ නිසා ගෞරවනීය ස්ථානයක තැනට සුදුසු ලෙස හැසිරිය යුතු බව ඔවුන් දන්නා කරුණකි. තවද ඔවුන් රටේ සාමාන්‍ය පුරවැසියෙකුට වඩා උගත් බවකින් යුක්ත නිසා ඔවුන් එලෙස අශෝභන ලෙස හැසිරෙතැයි අපට සිතිය නොහැක. මේ වයස් සීමාව තුල ප්‍රේම සබදතා ඇතිකර ගැනීම, ඔවුනොවුන් තැන් තැන්වල වාඩි වී කතා කිරීම සුලභ සිදුවීම් සමුදායක සිදුවීම් දෙකකි. මෙය සාමාන්‍ය මනුස්ස ස්වභාවය වේ. ඒ නිසා එවැනි සබදතා වලට වැට කඩොලු දැමීම සිදු නොකල යුත්තකි. එම නිසා උපකුලපති වරයා මෙහිදී උරණ විය යුත්තක් නැතැයි මා සිතමි.

නමුත් එම සිසුන් අශෝභනව එම පරිශ්‍රය තුල හැසිරුනා නම් එය දඩුවම් ලැබිය යුතු වරදකි. මක්නිසාදයත් එම අදාල සරසවිය භික්ෂු සිසුන් පවා අධ්‍යන කටයුතු කරන නිසා එලෙස හැසිරීම අනුමත නොහල හැකි බැවිනි. මේ හේතුව නිසා උප කුලපතිතුමාට විනය ක්‍රියා මාර්ග ගැනීමට බලතල ඇත. අනෙක් සිසුන්ගේ හා භික්ෂු සිසුන්ගේ සුභසිද්ධිය තකා එම බල තල භාවිතා කල යුතු බව මෙහිදී කිව යුතුමය.

නමුත් මා හට නම් වැටහෙන පරිදී මෙහිදී සිදුවී ඇත්තේ උපකුලපති තුමා , තම බලතල අනිසි ලෙස භාවිතා කිරීමක් බවයි. එම සිසුන් මෙහිදී වරදක් කලා නම් ඔවුනට විනය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට කුලපතිතුමා කර ඇත්තේ සිසුවීයන්ව රෝහලකට යවා කන්‍යාභාවය පරික්ෂා කරවීමයි. මෙය කොහෙත්ම අනුමත කල නොහැක. යම් හෙයකින් එක් සිසුවියකගේ හෝ කන්‍යාභාවය නොමැති බව පරීක්ෂණ වලින් ඔප්පු වුවහොත් එම සිසුවියට විදින්න සිදුවන අවමාන හා අවලාද බොහෝ යි.

සමහරවිට ඇයට ජීවිතය එපා වීම , සියදිවි නසා ගැනීමට සිතීම . සරසවි දිවියම එපා වීම වැනි දෙවල් සිතෙන්නට පුලුවන. කන්‍යාභාවය නැති වීමට පිරිමි කෙනෙකුගේ ඇසුරම අවශ්‍ය නැත.ක්‍රීඩා කිරීම් වලදී හානි සිදුවීම , උපතින්ම නොපිහිටිම් වැනි සිද්ධි නිසා මෙය පිහිටා නොතිබෙන්නට පුලුවන. තවද අදාල සිසුවියගේ කන්‍යාභාවය නොමැති බව පරීක්ෂණ වලදී හෙලි වුවහොත් ඇයට තම මිතුරියන් අතරේ පවා සමච්චලයට ලක් වීමට සිදුවන බව අකමැත්තෙන් වුවද කිව යුතුය.

උපකුලපති තුමා මෙවැනි ක්‍රියාමාර්ගයක් තෙරුවේ දඩුවමක් ලෙස නම් එම දඩුවමට ඇය ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද ?? මුලු ජීවිත කාලය තුලදීම ඇය හඩා වැටිය යුතුද ? සොරකමකට සිරගෙට නියම වූ සොරෙකු පවා යම් කාලයක් සිරබත් කෑමෙන් පසු නිදහස් වී සමාජයේ ගෞරවනීය පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට අයිතියක් ඇත. ඔහු තව දුරටත් සමාජයට සොරෙකු නොවේ. නමුත් උපකුලපති තුමා ගේ මෙම දඩුවම ගෙවෙන්නේ කොතරම් කාලයකට පසු ද ? ඇය සදහටම ජිවිතයෙන් සමුගත් විට ද ?

හොදයි.. මෙහිදී සිසුන්ගෙන් වරදක් සිදු වුනාමයි සිතමු. නමුත් මෙහිදී දඩුවමට ලක් වී ඇත්තේ සිසුවියන් පමණෙකි. ඇයි සිසුන්ට දඩුවම් දී නැත්තේ ? තනි අතින් අත්පුඩි ගැසිය නොහැකි බව අප කවිරුත් දන්නා කරුනකි. එය එසේ නම් සිසුවාටත්, සිසුවිය සේම දඩුවම් පැමිණ විය යුතුය. නමුත් මෙහිදී සම්පූර්න දඩුවම සිසුවිය ට දී ඇත්තේ ස්ත්‍රීන් උපතින්ම වරදෙහි බැදෙන සුලු ජාතියක් යැයි යන පඩි කියමන සනාත කරන්න ද ?

මගේ අදහස නම් මෙහිදී වරදක් සිදුවී ඇත්නම් දඩුවම් ලබා දිය යුතු බවත් එය කරන ලද වැරැද්දේ බරපතල කම අනුව දෙන ලෙසත් තිබෙන බලතල අනිසි ලෙස භාවිතා නොකරන ලෙසත් ය.

උපකුලපති තුමෙනි, මෙවැනි තීරණ ගැනීමට පෙර සිසුන්ගේ පැත්තෙනුත් මදක් සිතන්න. සිසුනි, සරසවි දිවිය විදින්න, එය ඔබටත් සමාජයටත් කලු පැල්ලමක් ඉතුරු නොවන ලෙසට.

16 November 2010

රාම රාවණා කතාව ඇත්තක් ද ?? - 2වන කොටස


කලින් ලිපියක මං රාමා හා රාවණා කියලා දෙන්නෙක් හිටියද ? ඔවුන් අතර ද්වන්ධ සටනක් තිබුන ද? කියන කාරනා සම්බන්ධව කරුණු කිහිපයක් හුවා දැක්වුවා ඔබට මතක ඇති. රාම හා රාවන යන දෙදෙනා අපට හමු වන්නේ විජයාවතරණයටත් (විජය රජුගේ ලංකා ගමන ) එහා ගියපු ඉතිහාසයෙදියි. 

ඒ නිසාමයි මේ සිද්ධි කිසිවක් ලේඛන වල නැති වීමට හේතුව. නමුත් විජයාවතරණය කියන්නේ අපේ සිංහල ජාතියේ පටන් ගැන්ම කියලා පිළිගන්න කොහොමටත් අමාරුයි. මොකද විජය රජු ලංකාවට එනකොට කුවේණියක් විසින් කපු කටිමින් හිටියා කියලා ඉතිහාසයේ සදහන් වෙනවනේ. ඒ කියන්නේ ලංකාවේ ඒ වෙනකොටත් දියුණු තාක්ෂණයක් තිබුනයි කියන එකනේ. ඒ නිසා සිංහල අපි විජය කියන රජුගෙන් පැවත එන ජාතියක් නම් නෙවෙයි.


මා විසින් ලියන ලද " රාම රාවණා කතාව ඇත්තක්ද ??? " යන ලිපියට මුතු අක්කා විසින් පල කරන ලද කොමෙන්ට් එක බොහොම වටිනා කාරනා ඇති නිසා එය කොමෙන්ට් එකක් ලෙස තිබීම මා විසින් කරන අසාධාරණයක් වන නිසාත් " රාම රාවණා කතාව ඇත්තක්ද ??? -දෙවන කොටස " ලෙස පල කරන ලදී.

පහත සදහන් වන්නේ මුතු අක්කා විසින් පල කරන ලද ඉතිහාසයේ අප නුදුටු පැති කඩයි.

" මට මේ ගැන කියන්න තියෙන්නෙ මෙහෙමයි. රාමායණ කතාකරුවාගේ කතාන්දරය පොඩිකාලෙ ඉඳලා අපට රසකරලා පොවපු අපේ ඇත්තොන්ගෙම වැරදි නිසා අපි අදත් රාමායණ කතාව හුදෙක් කතාවක් හැටියට හෝ රාමායණ කතාන්දරයටම අනුවම හෝ සිදුවූවක් ලෙස අදහගෙන ඉන්නවා. නමුත් ඉතිහාසය පීර පීරා සොයාගන්නා සෙවුම් වලදී ඇත්ත කාරණා හෙමින් උඩට එන්න ගන්නවා. ඒ නිසාවෙන් අපට යම් අදහසක් දෙන්න පුළුවන් මේකෙ ඇත්ත කතාව මේ විදියටයි වෙලා ඇත්තෙ කියලා.

රාවණ රජතුමා, මන්දෝදරිය දරුවා ප්‍රසූත කරන්නට පළමුව ඉපදෙන හෝරාව ගණනය කළේ අනාවැකි බලන්නට. මොකද ඔහු ජෝතිෂ්‍යය පිළිබඳ හසල දැනුම් ඇත්තෙක් නිසා. ඒත් ගණනය කිරීම්වලට අනුව සුබ හෝරාව පන්නා දරුවා උපන්නොත් දරුවාගෙන් විශාල ව්‍යසනයක් සිදුවන බව ගණනයට හසුවෙලා. රාවණට මේකෙ බරපතල කම තේරුණු නිසාම, වෙනත් ප්‍රවීන ජෝතිෂඥයෙක් ගෙන්නවලත් බලවලා තියනවා. කොහොමින් හරි රාවණ රජුගේ පුත් මේඝනාදයන් අහසේ මේඝ නාදයද පරදවන තරමට හඬමින් මෙලොව එළිය දුටුවේ අසුබ හෝරාවට ඔන්න මෙන්න කියා තිබෙද්දී, සුබ හෝරාව තුළදී යි. ඒත් මන්දෝදරී නැවත ප්‍රසූතිවේදනාවෙන් ඇඹරෙමින් තවත් දරුවෙක් බිහිකරා. නමුත් සුබ හෝරාව පන්නා උපන් ඒ බිලිඳා මිය ගිහින් කියායි රජුටත් දේවියටත් දැනුම් දුන්නේ.

අන්තිමේ රාවණ රජු සීතා රැගෙන ඇවිත් සිරකර ගත්තේ, රාවණගෙ අක්කා සුපුර්ණිකාට රාමගෙ මල්ලි ලක්ෂ්මණ කළ පිළිකුල් සහගත වද හිංසාව නිසා රාම ලක්ෂ්මණ දෙදෙන සුපුර්ණිකා ළඟට ගෙන්වා සමාව ගන්නට පුළුවන් ඉත්තෙක් ලෙසටයි. සීතා හිරකරගෙන ඉන්න කාලයේ රාවණා දැනගෙන තියනවා සීත කියන්නෙ තමන්ගෙ නිවුන් දරුවන්ගෙන් කෙනෙක් කියලා. අර මිය ගියායැයි කිව් බිලිඳා අසුබ හෝරාවෙන් උපන් බැවින් විපතක් සිදුවිය හැකියි සිතා කාටත් හොරා උපන්හැටිම මුහුදට පාකර දමලා.

කතාවෙ අන්තිමට සීතා රාමට තම පතිවත ඔප්පු කරන්නට ගින්නට පැන්න උනත් නොපිළිස්සුණේ, රාවණ රජුන් සීතාට උගැන්වූ ගිණි සිසිල නම් මායා ධර්මය නිසා කියලා සඳහන්. ඒත් රාමා, සීතා කළ ඒ ආශ්චර්යමත් ඒත්තු ගැන්වීමෙන් පසුව තම භාරයට ගත්තා උනත්, ඔහු කැමති වෙලා නෑ සීතා තව දුරටත් ඔහු ළඟ තියාගෙන ඇත්ත පිළිගන්න. ඒ නිසාම ඔහු ගැබ්බර සීතාව කැලේට නෙරපනවා. මෙතැනදි ඇයට වාල්මිකී මුණගැහිලා වාල්මිකීගෙ අසපුවේදී දරු දෙදෙනෙක් වදනවා. වාල්මිකී සීතගෙන් මේ කතාව අහලා ඔහු ලියනවා කතාවක්, තමන්ගෙ පාලකයන්ට ගැතිවෙලා. (තමා වරදස නොදිස්නේ - මරමා දොස්ම දිස්නේ) ඔන්න ඉතින් ඒ රාමායණය කතාවට අපිත් ගැතිවෙලා පොතේ තියන කතාවම රසකරමින් කියවමින් ඉන්නවා. ඒත් අපි හොයන්නෙ නෑ ඇත්ත මොකද්ද කියලා.

ඉන්දියන්කාරයෝ හැම දෙවි කෙනෙකුටම වගේ ඔළු දාස් ගණනක් දීල තියනව. ඒ වගේම රාවණටත් ඔළු දහයක් දීල තියනවා. ඒත් ඇත්තටම ඔය ඔළු දහයෙන් කියන්නෙ රාවණ රජු ප්‍රගුණ කළ දස්කම් දහය. 1.සිද්ධ 2.විද්‍යාධර 3.සංගීතඥ 4.චිත්‍රකලාවේදී 5.මන්ත්‍ර ශාස්ත්‍රඥ 6.වෛමානික 7.පෘථිවි ගර්භ 8.රාජ්‍ය ක්‍රම ශාස්ත්‍ර 9.ගෘහනිර්මාණ ශිල්පී 10. මන්ත්‍ර ශාත්‍රඥ

ඉතින් අන්තිමට අර අසුබ හෝරාවෙ උපන් දරුවා නිසා උනේ, වාල්මිකී කියන කතා කරුවාට හෙවත් රත්නකාරට එහෙමත් නැත්නම් හොර දෙටුවට අපේ හෙළද්වීපයේ නමටත් කැළලක් වෙන විදියෙ රසවත් කතාවක් ලියලා, අපේ ඉතා ශ්‍රේෂ්ඨ රජ උතුමෙක්ගෙ නමත් ඈඳා ගෙන ලොකු කැළලක් ඇති කරන්න පුළුවන් වීමයි.

අපිත් ඉතින් මේ කතාවල ඇත්ත නැත්ත හොයන්නෙ නැතුව කතාවෙ රසයට අපේ ඉතිහාසයත් පාගගෙන කතාව අහගෙන ඉන්නවා. ඒත් ඇත්ත සොයන කොට ඇත්ත මතු වීම වළක්වන්න බෑ. මධුරංගගෙ මේ ලිපියේ සඳහන් ලෙසින්ම මේ පෙන්වා ඇති සාධක අතුරින්ම සැබෑවටම මේ කතාව ඇත්ත සිදුවීමක් කියා හිතන්න සාධක තියනවා. ඒත් අපි ඒ ඉතිහාසය පාගාගෙන විකාර දොඩවමින් සිටීම කොයිතරම් අවාසනාවක්ද?

ඇත්ත සොයන්න. එතකොට ඇත්ත දකින්න පුළුවන්. බුදුහාමුදුරුවොත් කියා තිබෙන්නෙ, තමාගේ ප්‍රත්‍යක්ෂයට හසුවූ පසුව විශ්වාස කරනවා මිසක්, ඇහින් නොදැක, කනින් නොඇස, කෙනෙක් කිව් පළියට විශ්වාසයට ගන්න එපා කියල නේ. ඉතින් මේ මම කිව්වටවත් " ආ ඇත්ත නේන්නං" කියා ඉන්නෙ නැතුව හොයන්න. හොයල අපි විසින්ම වලට ඇඳ දැමූ ඉතිහාසය අපි විසින්ම ගොඩ ගමු. "

15 November 2010

වැස්ස !!! වැස්ස !!!

මේ දිනවල නොකඩවා වර්ෂාව ඇද හැලෙමින් පවතී. බස්නාහිර පලාතට වගේම දිවයිනේ සෙසු පලාත් වලටත් මේ වර්ෂාවෙන් බලපෑම් ඇති වෙලා තියෙනවා. වැස්ස ගැන මතක් උනාම තමයි මට මේ වචන දෙක මතක් උනේ. සාමාන්යෙන් අපි කතාවට කියනවනේ " නා කපනා වැස්සක් වැස්සා " , "මොර සූරන වැස්සක් වැස්සා කියලා" කියලා. සමහර විට අපේ සීයලා ආච්චිලා කියනවා ඇහිලත් ඇති.

ඇත්තට මොකද්ද මේ වචනවල තේරුම ????

මුලින්ම කියන්නම්කො නා කපනා වැස්ස කියන එකේ තේරුම. නා කියන්නෙ බොහෝම ශක්තිමත් ලී තියෙන ගස් විෂේශයක්. නා ගහේ ලී වලින් සාමාන්‍යයෙන් ගෙවල් වල පරාල වල එහෙම ගන්නෙ නෑ (පත්තිනි දේවියට සම්බන්ද හින්දා නා ගස් වල ලී ගන්නේ නෑ කියලා කතාවකුත් තියෙනවා. මන් හරියටම ඒකනම් දන්නේ නෑ.) . ඔය පූජනීය ස්ථානවල වහලවල් වලට එහෙම තමයි නා ගහේ ලී ගන්නේ. නා ගහේ ලී කපන්න ගොඩක්ම අමාරු හින්දා ලීය හොදට පොගවන්න ඕනා. නැතිනම් කපන්න අමාරුයි. නා ගස්වල ලීත් කපන්න පුලුවන් තරමට වහින වැස්ස හින්දා නා කපනා වැස්ස කියලා කියනවලු.

නා කපනා වැස්සට තව තේරුමක් තියෙනවා. නා කප + නා වැස්ස. ඔය බුදු දහමේ තියෙනවලු නේ. කල්ප විනාසේ ලන් උනාම දවස් හතක් එකදිගට වහින ලොකූ වැස්සක් එනවා කියලා. කප නස්නා වැස්ස යන තේරුම ඇතිව නා කපනා වැස්ස කියලත් කියනවා කියලා ජනප්‍රවාදයේ තියෙනවලුනේ.
හරි… දැන් බලමු මොර සූරන වැස්ස කියන වචනයේ තෙරුම. මොර කියන්නේ නටුව ගොඩක් ශක්තිමත් ගෙඩි විෂේශයක් . සාමාන්‍යයෙන් වැස්සක් වැස්සම ගස්වල මල් , ගෙඩි එහෙම ඉදිරිලා වැටෙනවා නේ. නමුත් මොර ගෙඩි එහෙම ඉදිරිලා වැටෙන්නේ නෑ. මොර වගේ නැට්ට හයිය ගෙඩිත් වටෙන වැස්ස යන අරුත දෙන මොර සූරන වැස්ස කියලා භාවිතයට ආවලු.

දැන් දන්නවනේ මොර සූරන වැස්ස කියන වචනයෙයි නා කපනා වැස්ස කියන එකෙයි තේරුම.

තව ඔය වගේ වැස්ස සම්බන්ධ වචන ගොඩක් තියෙනවා. මන්දාරම් වැස්ස , අනෝරා වැස්ස, අසනී වැස්ස ඔය වගේ ගොඩාක් ඒවා. අනෝරා වැස්ස කියන්නේ නම් නොකඩවා වහින වැස්සට කියලා දන්නවා. නමුත් ෂුවර් එකක් නෑ. දන්නා කෙනෙක් ඉන්නවනම් ඔය වචන වල තේරුම් ටික පහලින් කොමෙන්ට් එකක් විදිහට දාන්න.

සියලු දෙනාටම ජය වේවා !!!

ගුවන් අනතුරක් !!!!


මං අද බස් එකේ එනගමන් ටිකක් විතර අහන්න ලැබෙන්නේ නැති සිංදුවක් රස විඳ විඳ ආවා. සිංදුව තමයි "කන්දේ හැපුන මහ වනන්තරේ …." ගීතය ගායනා කරන්නේ ඇන්ටන් ජොන්ස් මහත්තයා. මන් දැන් තියෙන අලුත් සිංදු වලට වඩා 60 – 70 දශකයේ ගීත වලට පුදුමාකාර ආසාවක් තියෙන්නේ.

මේ ගියෙන් කියවෙන ගුවන් අනතුර ගැන චුට්ටක් හොයල බලන්න ඕන කියලා හිතුනා. පරණ පත්තරයක මේ ගැන පොඩි විස්තරයක් තියෙනවා කියලා දැකපු හන්දා. ඒ පත්තර ටික අවුස්සලා බැලුවා මොකද්ද ඒ විස්තරේ කියලා. එක වටිනවා කියලා හිතුනා නිසා ඔයාලත් එක්ක බෙදා ගන්න බ්ලොග් එකේ දැම්මොත් හොදයි කියලා හිතුනා.

මේ ගීතයෙන් කියවෙන්නේ ගුවන් අනතුරක් ගැන.මේ අනතුර සිද්ධ උනේ අද ඊයේ නෙමෙයි. 1974 අවුරුද්දේ දෙසැම්බර් හතර වෙනිදා එදා බදාදා දවසක් ලු . මේ සිද්ධිය උනේ රෑ 9.41 හරියටම ට විතර. (එහෙම තමයි ගුවන් අනතුරු වාර්ථා වල තියෙන්නේ. GMT වලින් වෙලාව 1641 ලු ) මේ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොලෙන් පිටත් උනේ මක්කම දක්වා යන මුස්ලින් බැතිමතුන් රැගෙනයි.

මේ ගුවන් යානය මස්කෙලිය ප්‍රදේශයට ලගා වනවිට යාන්ත්‍රිකරණ දෝශයක් ඇති උනාලු. හරියටම අක්ෂාංශ දේෂාංශ වලින් කියනවනම් උතුරු අක්ෂාංශ 6යි කලා 53' යි විකලා 32.22'' යි හා නැගෙනහිර දේෂාංශ 80යි කලා 29'යි විකලා 25.30''යි. හරියටම මුහුදු මට්ටමේ ඉදලා අඩි 4355ක් උඩකින් තිබ්බ කන්දක තමයි මේ යානය හැප්පුනේ. කටුනායක ගුවන් තොටුපොලේ ඉදලා හැතැප්ම 40ක දුරින් තමයි මේ ප්‍රදේශය තියෙන්නේ .

මේ ගුවන් යානයේ වර්ගය DC 8 ලූ. සම්පූර්න නමින් කියනවා නම් Donnell Dougles 8 ලු. ඉතින් මේ ගුවන් යානය ගුවන් ගත වෙලා මක්කම බලා යන්න පිටත් උනා. ඉස්සර මක්කම එහෙම යන්නේ ඉන්දුනීශියාව වගේ රටවල් හරහා. කොහොමහරි මේ ගුවන් යානයට යාන්ත්‍රික දෝශය ඇති උනා කියමුකෝ. මේ යානය "සප්ත කන්‍යා ' කියන කන්දක මහා හඩකින් හැප්පුනාලු. ඒ හඩ කොච්චර සැර ද කියනවනම් හැන හඩක් වගේ ඇහුනලු.

කොහොමහරි මේ යානය හැප්පුනාට පස්සේ නාවිකයන් 9 දෙනෙකුයි මගීන් 182 දෙනෙකුයි දරුනු ලෙස තුවාල ලැබුවලු. කට කතා වලින් කියවෙන්නේ ඔක්කොම මලා කියලයි. නමුත් මට ඒක හොයාගන්න නම් ලැබුනේ නෑ. ඊට පස්සේ ගමේ මිනිස්සුන්ගේ උදව්වෙන් කැලේ එලි කරන් ගුවන් යානයේ සුන් බුන් තියෙන තැනට ලගා උනාලු. අන්තිමේදි ගුවන් යානයේ කලු පෙට්ටිය හොයා ගත්තලු. ඒකෙන් කියවුනේ මේ යානයට යාන්ත්‍රීකරණ දෝශයක් ඇති වෙලා කියලයි.

ඔන්න ඕකයි ගුවන් අනතුරේ සම්පූර්න කතාව. ඇත්තටම මේ වගේ ගීත කොච්චර වටිනවාද ?? මේ වගේ සිද්ධි චුට්ටක් හරි මතක තියෙන්නේ මේවගේ ගීතයක් හරි තියෙනවා නම් විතරයි.

ආහ්…. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ගමේ කට්ටිය මේ අනතුර යන්න සිද්ධ උන තැනට යන්න කලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අනතුරෙන් තුවාල උන අයට උදව් කරන්න සූදානම් වෙලා ගියාලු. මේ ගිය ගමන එයාලට නම් ඓතිහාසික සිද්ධියක් ලු. මොකද එයාලගේ ගවේශකයන්ගේ සමාජයේ(Explorers’ Club) පටන් ගැන්ම සිද්ද උනේ මේ සිද්ධිය පදනම් කරගෙන ලු.

බලන්න කෙනෙකුට නරකක් වෙනකොට ඒ හැම එකෙන්ම මොකක් හරි හොදක් සිද්ධ වෙනවා. ලෝකය මහ පුදූමාකාර තැනක් නේ ????

මේ ගීතය ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න.

ලස්සන ගීයක් රසවිඳිමුද ???


මේ ගීය නම් ටිකක් විතර පරණයි. මං පරණයි කිව්වේ ගියේ රසය නෙමෙයි ඒක ගායනා කරපු කාලෙ ටිකක් විතර ඈතයි. නමුත් මේ ගීය මට නම් අද උනත් අලුත් එකක් වගේ රස විඳින්න පුලුවන්. වැඩි කතා ඕනේ නෑ ගීය මේකයි. සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන " පැන මඩ කඩිති ….." ගීය .

මේක මං මුලින්ම ඇහුවේ මං විශ්ව විද්‍යාලේ ඉන්නකොට අපේ පීඨ අරුණැල්ල කියලා ශිෂ්‍යත්ව වැඩසටහනක් කරනවනේ. අන්න ඒකේ සමාරම්භක උළෙල දී තමයි මං මේ ගීය මුලින්ම ඇහුවේ. ගීයට කලින් මං අරුණැල්ල කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා ඉන්නම්කෝ. අරුණැල්ල කියන්නේ දුශ්කර පලාත් වල අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සිසුන්ට කරන සම්මන්ත්‍රණ මාලාවක්.

සම්මන්ත්‍රණ විතරක්ම නෙමෙයි ඒවහේ පාසලක් තෝරගෙන හැම අවුරුද්දකම ඉස්කෝලෙට පුස්තකාලයක් හදන වැඩපිලිවෙලක්. අන්න ඒකේ 2009 අවුරුද්දේ සමාරම්භක උළෙල තිබ්බේ කන්තලේ වේන්ඩ්‍රාසපුර මහ විද්‍යාලයේ.මේක ගොඩාක් දුශ්කර පාසලක්.

ඉතින් මේ පාසලේ හිටපු තුන වසරේ විතර මල්ලී කෙනෙක් තමයි මේ ගීය ගායනා කලේ. ඒ මල්ලී මේ ගීය ලස්සනට ගායනා කලා. කොච්චර ලස්සනට මේ ගීය ගායනා කලාද කිව්වොත් කට්ටියම කිසිම හාවක් හූවක් නැතිව අහගෙන හිටියා.

ඇත්තටම මේ ගීයෙන් කියවෙන්නේ ඉස්කෝලෙක ගුරුවරයෙක් ගැන. අපේ ඉස්කෝලවල් වල ඉන්න ගුරුවරු අපි ඉන්න මේ තත්වෙට ගේන්න කොච්චර වෙහෙස මහන්සි උනාද ???? නමුත් අපේ අයගෙන් කීයෙන් කීදෙනෙක්ද ගුරුවරයා ගැන මතකයක් තියාගෙන ඉන්නේ.

මං මේ ගීයෙන් ආසම පද ටික තමයි.

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ….
පෙන්නා මග නොමග නොවැටි යන තාලේ…
සිප් කිරි පෙවු මූසිලයින් උඩු මාලේ…
අපෙ ගුරුතුම යයි තාමත් ඉස්කෝලේ….

මේක ඇත්තටම ලොකු තේරුමක් තියෙන ගීයක්. මං කියනවටත් වඩා ඔයාලම අහල බලන්නකෝ.

මේ ගීයේ මුල් ගායනය ඩවුන්ලෝඩ් කර ගන්න මෙතන ක්ලික් කරන්න.

කාවද බේරගන්නේ ??


මේක අපෙ අම්මා කියපු කතාවක්. අම්මලා, තමන්ගේ දරුවන්ට වැරදි දේවල් කියලා දෙන්නේ නැහැනේ ඒ කිසා මේ කතාව හොද එකක් කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.ඔන්න එහෙනම් කතාව අහ ගන්නකෝ.

ඔන්න එකමත් එක රටක (අම්මා කතාව පටන් ගත්තේ එහෙමයි ) රජතුමෙක් හිටියා. මේ රජතුමා එක පවුලක තුන් දෙනෙක් මොකද්ද මන්දා වරදකට සිරගත කලා. මේ පවුලේ හිටියේ බිරිදයි ,ස්වාමිපුරුශයායි , දරුවායි , බිරිදගේ සහෝදරයයි ලූ. ඒ වරදට කට්ටියම සිරගත කරනකොට බිරිද දර කඩන්න කැලේට ගිහින් ලු.

කොහොමහරි බිරිද එනකොට ගෙදර කට්ටියම නෑලු. අහල පහල ගෑනු කෙනෙක් කිව්වලු ඔයාලගේ ගෙදර කට්ටිය ඔක්කොම රජතුමා සිරබාරයට ගත්තා කියලා. දැන් මේ බිරිද අඩ අඩා රජ මැදුරට ගිහින් රජතුමා ඉදිරියේ දනින් වැටිලා තමන්ගේ පවුලේ අයව නිදහස් කරන්න කියලා ඉල්ලනවලු.

රජතුමා කිව්වලු මං තුන් දෙනාව නිදහස් කරන්නේ නෑ එක්කෙනෙක් ඕනෙ නම් නිදහස් කරන්නම් කියලා අර කට්ටිය හිටපු සිර මැදුරු ලගට ගෙනිච්චලු. දැන් ඔන්න මේ ගෑනු කෙනා ඉදිරියේ තමන්ගේ ස්වාමිපුරුශයායි , දරුවායි සහෝදරයයි ඉන්නවලු.

දැන් අපේ අම්මා මගේ පැත්තට හැරිලා ඇහුවා " මේ වැඩේ ඔයාට උනා නම් ඔයා කාවද තෝර ගන්නේ…" කියලා. මමත් දැන් අහස පොලව ගැටලන්න කල්පනා කරලා කිව්වා " සහෝදරයා තෝර ගන්නවා…" කියලා.

ඊට පස්සේ අම්මා අහනවා " ඇයි අනිත් දෙන්නගෙන් එක්කෙනෙක් තෝර ගන්නේ නැත්තෙ…" කියලා.

මං නිරුත්තර උනා….

ඔන්න අම්මා ආයෙත් කතාව පටන් ගත්තා. ඒ ගෑනු කෙනත් තමන්ගෙ සහෝදරයා තෝර ගන්නවා කියලා කිව්වලු. අපේ අම්මා මගෙන්
අහපු විදිහට රජතුමාත් ඇහුවලු තමන්ගේ දරුවයි ස්වාමිපුරුශයායි ඉන්නැද්දී ඇයි සහෝදරයාව තෝර ගන්නේ කියලා.

ඒ ගෑනු කෙනා කිව්වලු " මට ආයෙත් කසාද බැදලා ස්වාමිපුරුශයෙක් ව ලබා ගන්න පුලුවන්. ඒ ස්වාමි පුරුශයාගෙන්ම දරුවෙක්ව හදා ගන්නත් පුලුවන්. නමුත් මට සහෝදරයෙක්ව කොහෙන්වත් ලබා ගන්න බෑ " කියලා කිව්වලු. ඉතින් අර රජතුමාට මේ ගෑනු කෙනාගේ බුද්ධිය ගැන පැහැදිලා තුන් දෙනාම නිදහස් කලා ලු.

ඉතින් අපේ අම්මා ඔහොමයි සහෝදරයෙක් ගේ අගය අපට තේරුම් කලේ. අපි කොච්චර ඉගෙන ගත්තත් අම්මගේ බුද්ධිය මුහුකුරා යන්න බෑ කියලා මට එදා තේරුනා. අම්මලා කියන්නේ පුදුම බුද්ධියක් තියෙන අයට.

06 November 2010

බෙල්ලන්විල රජමහා විහාරයට යමු ද ???

අපේ පුහුණු කාලය පහුගිය සිකුරාදා දිනයෙන් ඉවර උනා. ඒ හින්දා දැන් ටිකක් විතර විවේකයක් තියෙනවා මොකද මේ දවස්වල විශ්ව විද්‍යාලේ කලබල හින්දා පටන් ගන්න දවසක් තාම කියලා නෑ. ඉතින් මේ විවේකයේ පොඩ්ඩක් ඇවිදින්න ඕනෙ කියලා හිතුන නිසා කොළඹ නගරයේම තියෙන පූජනීය ස්ථානයක් වැද පුදා ගන්න කියලා ගියා. ඒ බෙල්ලන්විල රජමහ විහාරය ට.

කොළඹ කොටුවෙන් පානදුර හරි මොරටුව හරි බස් එකක ගිහින් දෙහිවලින් බැහැලා දෙහිවල - මහරගම පාරේ ටික දුරක් ගියාම බෙල්ලන්විල පන්සල ලගින්ම බැහැ ගන්න පුලුවන්. මේ පන්සල කෝට්ටේ යුගය දක්වා පැරණියි කියලා තමයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.

සංඝමිත්තා මෙහෙනින් වහන්සේ විසින් ජය ශ්‍රී මහ බෝධියේ දක්ශිණ ශඛාව ලක්දිවට ගෙනවිත් අනුරාධපුරයේ රෝපණය කලාට පස්සේ දෙවෙනි වර හට ගත්තු දෙතිස් පැළ වලින් එක් පැළයක් බෙල්ලන්විලට ගෙනවිත් රෝපණය කලා කියලා තමයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.

ක්‍රි. ව. 1505න් පස්සේ පෘතුග්‍රිසින්, ලන්දේසින් , ඉංග්‍රිසින් ලංකාව ආක්‍රමනය කිරීමත් සමගම ලංකාවේ වෙහෙර විහාර රාශියක පරිහානිය ඇති උනා. ඉතින් මේ විහාරයත් එලෙස පරිහානියට පත් උනා ලු. ඔහොම පරිහානිය පත්වෙලා මේ විහාරය වල් බිහිවුනා ලු.

බෙල්ලන් විල විහාරය කිට්ටුවෙන් තියෙන කටු ඇල කියන ඇල මාර්ගයේ යාත්‍රා කරමින් හිටපු කට්ටියකට බෙල්ලන්විල හරියෙන් යනකොට හේවිසි හඩක් ඇහුනලු. ඉතින් මේ පිරිස ගමන් නවත්වලා ඇවිත් බැලුවලු හේවිසි හඩ ආවේ කොහෙන්ද කියලා. නමුත් හේවිසි හඩ ආපු තැනක් නැති ලු. ඊට පස්සේ ඔවුන් දැක්ක ලු මේ විහාරයේ බෝධීන් වහන්සේව. ඊට පස්සේමෙම බෙල්ලන්විල වෙහෙර භූමිය හාස්කම් ඇති තැනක් කියලා හිතපු මේ අය මේ වෙහෙරබිම පිලිසකර කරවන්න ඇතැයි කියලා සදහනක් තියෙනවා ලු.


කොහොම උනත් කොලඹ කටුක පරිසරයෙන් මිදිලා සිත දහම කෙරෙහි යොදවන්න මේ පින්බිම කදිම තෝතැන්නක්. විවේක තිබෙන වෙලාවක බෙල්ලන්විල විහාරයට ගියොත් මේ නිස්කලංක සුවදායක පරිසරයේ අසිරිය ඔබටත් අත් විදින්න පුලුවන්.

මේ විහාරයට යන මග කියා දුන් මම සේවය කල ආයතනයේ කුමාර සොහොයුරාට තුති දෙමින් මෙම බ්ලොග් සටහන මෙතනින් නිමා කරමි. සියලුම සේයාරූ බෙල්ලන්විල රජමහා විහාරයේ වෙබ් අඩවියෙනි.

05 November 2010

සරසවි කැට කෙරුවාව


මේ දවස් ටිකේම චාරිකා සටහන් ලියපු හන්දා අද ඊට හාත්පසින්ම වෙනස් කතාවක් ලියන්න කියලා හිතුවා. මේක මං විශ්ව විද්‍යාලේ දෙවෙනි වසරේ ඉන්නකොට අපේ මිතුරෙක්ට මුහුන පාන්න සිදුවෙච්ච එක්තරා සිදුවීමක්. ඒ සිදුවීම ඔයගොල්ලොත් එක්ක බෙදා ගත්තොත් හොදයි කියලා හිතුන නිසා තමයි මේ බ්ලොග් සටහන ලියන්නේ.

සාමාන්‍යයෙන් සරසවි සිසුන් විසින් විවිධ කාර්යයන් වලට අරමුදල් රැස් කර ගැනීම සදහා කැට ව්‍යාපාර පැවැත්වීම සිරිතකි . එහෙයින් අපේ බැච් එකත් දෙවනි වසරෙ ඉගෙනුම් කටයුතු සිදු කරමින් සිටියදී කරන ලද සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවට අවශ්‍ය ප්‍රතිපාදන රැස් කරගන්න කැට ව්‍යාපාරයක් පවත්වන්න අවශ්‍ය වේ යැයි කියලා සියලු දෙනා කතිකා කර ගන්නා ලදී . මේ සම්මන්ත්‍රණ මාලාව පවත්වන්නේ දිවයිනේ පවතින දුශ්කර පාසල් වලයි.


කොහොමින් කොහොමහරි මුලු බැච් එකම බෙදිලා ලංකාවේ එක එක පලාත් වලට ගියා කැට ව්‍යාපාරයට. මට මේ කතාව කියපු මිතුරා ගියේ කුරුනෑගල නගරයට යි. ඉතින් මේ මිතුරා කුරුනෑගල බස් නැවතුම් පොල අවට ජනතාවගෙන් සම්මාදම් සොයමින් ඉන්නකොට ඒ අසලින් අධි සුඛෝපභෝගී රථයක් නැවත්තුවාලු. ඒ රථයේ රියදුරු අසල කඩයකට ගියා ලු. ඒ මොහොතේ එම රථයේ අයිතිකරු යැයි සිතිය හැකි පුද්ගලයෙක් සිටින බව දුටු නිසා අපේ මිතුරා යම්කිසි ආධාරයක් ලැබෙතැයි සිතා එම රථය අසලට ගියා ලු.

නමුත් සිදුවූයේ අපේ මිතුරා නොසිතූ දෙයකි. එනම් , ඔහු ඒ අසලට පැමිණ ආධාරයක් ලබා දෙන මෙන් ඉල්ලූ විට මෙතෙක් විවෘතව තිබූ වාහනයේ ෂටරය ඔහුගේ දේශනය හමුවේ වැසී යාමයි. '' අපෝ සල්ලි තිබුනට මහම මහා කුණෙක් '' යැයි සිතූ අපේ මිතුරා නැවත බස් නැවතුම කරා පිය මනින්නට විය.

ඉන්පසු ඔහු ඇතුලු කුරුනෑගල ප්‍රදේශයට පැමිණි සියලුම දෙනා අසල තිබූ පුද්ගලික පංති කරා පිය නැගුවේ එහි ඉගෙනුම ලබන සිසුන්ගෙන් හෝ යම් කිසි ආධාරයක් බලාපොරොත්තුවෙනි. එම පිරිස ආ කාරනාව ගුරුවරයාට පවසා අවසර ලබාගත් මේ පිරිස පංතියේ සිසුන්ගෙන් ආධාර රැස් කරමින් සිටින විට රබර් සෙරෙප්පු දෙකකින් හා වැරහැලිව ගිය ගවොමකින් සැරසී සිටි නංගී කෙනෙකු තමන්ට දවල් කෑමට යැයි ගෙදරින් දී තිබූ රුපියල් පනහෙන් රුපියල් දහයක් අපේ මිතුරාගේ කැටයට දැමීය. ඒ නංගිගේ පසුම්බියේ සන්තකයටම තිබුනේ එම රුපියල් පනහා පමණි.

මේ ක්‍රියාව දුටු අපේ මිතුරාගේ සිත මහත් වූ දුකකින් ඇලලෙ න්නට වන. කෙසේ හෝ එදින නිම වත් ම තම තමන්ගේ කැට පුරවා ගත් පිරිස සරසවියට පැමිනුණි. අප මෙසේ අව් රශ්මියේ උගුර ලේ රහ වැටෙන තුරු කෑගසමින් කැට කරන්නේ ඒ මුදල් අපේ පුද්ගලික පරිභෝජනයට නොවේ. අපේම රටේ දුශ්කර පලාත්වල ඉගෙනුම ලබන නංගිලා මල්ලිලාගේ අධ්‍යාපන කටයුතු වලට අත්වැලක් වීමටය.

නමුත් අපේ රටේ දුශ්කර පලාත් වල ජීවත් වන නංගිලා මල්ලිලාගේ අධ්‍යාපන අයිතිය ඔව්නට ලබා දිය යුතුය කියා සිතන්නේ රටේ ජීවත් වන සුඛෝපභෝගි පැලැන්තිය නොව අප අතරෙම ජීවත් වන දෑතේ විරියෙන් හිතේ ශක්තියෙන් එදිනෙදා වේල සොයා ගන්නා අපේම අම්මලාය තාත්තලා ය සහොයුරන් ය සොහොයුරියන් ය.

ඉතින් එහෙම ජීවත් වන අපේම දුප්පත් මිනිසුන්ගෙන්, අපේ කැටයට වැටෙන රුපියල දෙක එකතු කරගෙන ඒ අසරන නංගිලා මල්ලිලාගේ දියුනුවට යෙදවීම අප කරන පවකි. මක් නිසාදයත් ඒ මිනිසුන් ඒ රුපියල දෙක පවා උපයන්නේ නොවිදිනා දුක් විදගෙන බැවිනි .එහෙයින් ඒ පවට අප තව දුරටත් කර නොගසමු යැයි සිතා විශ්ව විද්යාල කැට කෙරුවා ව දෙවන වසරෙදිම අප නවතා දැමුවෙමු. නමුදු අප කරගෙන යන සම්මන්ත්‍රණ මාලාව නොකඩවා කරගෙන යන්නෙමු. ඒ අපේම සරසවි සිසුන්ගේ හා සරසවි ආදි සිසුන්ගේ දිරියෙනි. ශක්තියෙනි.

ඔබේ ප්‍රදේශයේ ඇති පාසලට මෙවැනි සම්මන්ත්‍රණ අත්වැලක් අවශ්‍ය නම් සභාපති, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය , පේරාදෙණිය විශ්ව විද්‍යාලය , පේරාදෙණිය යන ලිපිනයට අදාළ විදුහලේ විදුහල්පතිගේ සහතිකයක් සමග ලියන්න.

04 November 2010

රාම රාවණා කතාව ඇත්තක් ද ??


අද මගේ බ්ලොග් ලිපියෙන් කියන්න යන්නේ අතීතයේ සිදුවුනා යැයි කියවෙන ලංකා ඉතිහාසයේ සිදුවීමක්.ඒ තමයි රාම රාවණා කතාව හා ඒ ආශ්‍රිත ජනප්‍රවාදයේ එන කතා කිහිපයක්. කවුරුත් දන්නවනේ භාරත දේශයේ හිටපු රාම කුමාරයායි ලංකද්වීපයේ එවකට රජකම් කලා යැයි කියවෙන රාවණා රජතුමා අතරේ ද්වින්ධ සටනක් තිබුනා යැයි කියවෙන සිද්ධිය . සීතා නම් දේවියක් මුල් කරගෙන මෙම සටන පැවතුන බව ඔයාලා කවුරුත් දන්නවනේ.

ඇත්තටම ලංකාවේ රාවණා කියලා රජෙක් හිටියද? එහෙනම් ඒ මොන යුගයෙද ? ජනප්‍රවාද කතා කරුවට කොතනකදි හරි වැරදුනාවත් ද ? අන්න ඒ වගේ ප්‍රශ්න කිහිපයකට යම් තර්කානුකූල පිලිතුරක් ලබා දීමට මං මේ ලිපියෙන් ප්‍රයත්නයක් දරනවා. සමහරවිට මගේ තර්ක වල අඩුපාඩු තියෙන්නත් පුලුවන්. ඒ අඩු ලුහුඩුකම් විවේචනය කිරීම මං පාඨක ඔබට භාර කරමි.

ශ්‍රී ලංකා රාජාවලියම පීරා බලන කල රාවණා යැයි නම සදහන් වන කිසිදු රජෙක් ලංකාවේ පහල වෙලා නෑ. ලේඛන ඉතිහාසයේ නැති උනත් ජනප්‍රවාදයේ එහෙම රජෙක් ලංකාවේ රජකම් කලා කියලා අපි දන්නවනේ. ඔය කියන රජතුමා සීතා දේවිය පැහැරගෙන ලංකාවට ගෙන ආවා කියලා ඔයගොල්ලො දන්නවනේ. එහෙම පැහැරගෙන ආපු සීතා දේවිය ලංකාවේ වනගත ප්‍රදේශයක සිර කර තබා ගත්ත කියනවනේ.පහල පින්තුරයෙන් දැක්වෙන්නේ රාවණ රජු ගේ රුව යැයි සදහනක් වෙයි.

කදුවලින් ගහන ඒ වන ගත ප්‍රදේශය නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළියට ආසන්නයේ තියෙන ගමක් වෙච්ච සිතා එළියේ ලු ඔය සීතා දේවිය සිරකර තබා ගත්තා යැයි කියන්නේ. ඔය ගමට නම ලැබිලා තියෙන්නෙත් ඔය සීතා දෙවිය සිර කර තබාගෙන හිටපු හින්දා කියලයි ජනප්‍රවාදයේ සදහන් වෙන්නේ. ඒ කතාවත් යම් ඇත්තක් තියෙන්න පුලුවන්. මොකද නුවරඑළියේ සංචාරය කරපු ඔබ දන්නවනේ කදුවලින් වටවෙච්ච තැනක් නේ නුවරඑළිය කියන්නේ.

ඔය රාම රාවණ යුද්ධයේ එක් අවස්ථාවක රාමගේ සේනාවේ හිටපු හනුමන්තා කියන වානර සේනාධිපතියා තමන්ගේ වලිගයට ගිනි දල්වා ගෙන ලංකාව ගිනි තිව්වා කියලා අහලා ඇති නේ. එහෙම ගිනි තිබ්බට පස්සේ ඒ නගරය එහෙමත් නැත්නම් නුවර එලිය වැටුනලු. ඒ නගරය ගිනි ගත්ත ප්‍රදේශය පහු කාලිනව "නුවරඑළිය" උනා ලු. (නුවර = නගරය ) මේකත් ඇත්ත වෙන්න පුලුවන්. නමුත් මෙයත් ලේඛන ඉතිහාසයේ නෑ.

තව දෙයක් තමයි රාවණ රජතුමා යුද්ධ කරන්න ගියේ දඩුමොනරය කියන අහසින් යන්න පුලුවන් අහස් යානයකින් කියලා කියනවනේ. මේ අහස් යානය නවත් වා තැබුව ස්ථානය වර්ථමානයේ කුරුනෑගල දිස්ත්‍රික්කයට ආසන්න ගමක ලු. ඒ ගම පහුකාලීනව වාරියපොල උනාලු. වා + රිය + පොල එහෙමත් නැත්නම් වාතයේ ගමන් කරන රිය නැවතුම් පොල ලෙස අර්ථ දැක්වෙනවා.

තව දෙයක් තියෙනවා. ලංකාවේ මන්නරම ත් ඉන්දියාවේ රාමේශ්වරම ත් අතරේ වැලි වැටියක් තියෙනවා. මේ වැලි වැටිය හදුන්වන්නේ හනුමන්තගේ පාලම එහෙමත් නැත්නම් හනුමන්ගේ පාලම කියලයි. ඔය රාම රාවණ යුද්ධයේ දී හනුමන්තා තම සේනාව සමග ලංකාව ආක්රමනය කරන්න මහ සාගරය හරහා පාලමක් හැදුවා කියලා කතාවක් තියෙනවා. ඔය වැලි වැටි සියල්ල ඒ හදපු පාලමේ නටබුන් කියලා අදහසකුත් තියෙනවා. තලෙයි මන්නාරම් දූපත් වල සංචාරය කරන්නෙකුට හනුමන්තගේ පාලම නම් වැලි වැටිය අදත් දකින්න පුලුවන්.

ඉන්දියාවෙ ජනතාව සමහර කාල වලදි රාවණ පිලිරුවක් හදලා ඒක ගිනිබත් කරන උත්සවත් කරනවා.එහෙන් පැහැදිලි වෙන්නෙ රාවණ කියලා රජෙක්, රාමා සමග යුද්ධ කලා කියන එක ද ?

එක් අවස්ථාවක රාවණගේ හීයක් වැදී රාම ගේ සොයුරු ලක්ශ්මන සිහි මුර්ජා වෙනවනේ. එතකොට ලක්‍ෂ්මන සුව කලේ ලංකාවේ වෙදෙක් කියලා සදහනකුත් තියෙනවනෙ. ඒ සිද්ධිය මෙතනින් කියවන්න.

තව දෙයක් තියෙනවා. රාම රාවණ යුද්ධයේදී රාවනා පරදිනවනේ. ඊට පස්සේ ලංකා රාජ්ජය විභීෂණ කියන රාවනාගේ සොයුරෙකුට භාර දෙනවනේ. ඒ විභීෂණ කියන සොයුරා පසු කාලිනව කැලණිය ප්‍රදේශයට අධිපති ලංකාද්වීපය සුරකින විභීෂණ දෙවියන් ද ???ඔය පහලින් තියෙන්නේ විභීෂණ දෙවියන්ගේ රුපයක්.

මේ සියලුම ජනප්‍රවාදයන් සියල්ල යොමු වෙන්නේ එකම දිශාවටය. එනම් ලංකාද්වීපයේ රාවණා කියලා රජෙක් හිටියා ඒ රජතුමා රාම කියලා කුමාරයෙක් එක්ක යුධ වැදුනා එයින් රාවන පරාද වුනා යන සියල්ල ඇත්තට සිදුවුන සිදුවීම ලෙසටය. මා නැවත නැවතත් කියන්නේ මේවා ලේඛන ඉතිහාසයේ නැති කරුනු ලෙසට හා ජනප්‍රවාද කතා කරුවාගේ නොබිදුන තර්කයන් ලෙසටය.


සමහර විට ඔබටත් මේ පිලිබද අදහස් ඇති.ඒවා පහල කොමෙන්ට්ස් විදිහට ඉදිරිපත් කරන්න. කවදත් මගේ බ්ලොග් ලිපි වල කියවා ඒවායේ අඩු ලුහුඩුකම් හුවා දක්වමින් මා දිරිමත් කරන වින්ධ්‍ය මල්ලිට තුති පුද කරමින් මේ ලිපිය මෙතකින් නිමා කරමි.
මේ ජනප්‍රවාදය ගැන තවත් දැනගන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න.

සියලු දෙනාට ජය වේවා !!!!

03 November 2010

සබරගමුවේ පුදබිම් - රත්නපුර මහ සමන් දේවාලය



කලින් ලිපි වල මං චාරිකා සටහන් ලිවුවනේ. මේකත් ඒවගේ චාරිකා සටහනක්. මේ සටහනෙන් කියන්න යන්නෙ රත්නපුර නගරයේ මුදුන් මල් කඩක් බදු රත්නපුර මහ සමන් දේවාලය ගැනයි. රත්නපුර නගරය ආසන්නවම පවතින ඓතිහාසික වටිනාකමක් තියෙන පුදබිමක් තමයි සමන් දේවාලය කියන්නේ.

සිරිපාද පුදබිම හැරුනකොට සමන් දෙවියන් වෙනුවෙන් ඇති ප්‍රධානම සිද්ධස්ථානය තමයි මේ රත්නපුර මහා සමන් දේවලය. රත්නපුර නගරය ආසන්නවම වගේ තියෙන හින්දා ඕනම කෙනෙකුට පහසුවෙන් ලගා වෙන්න පුලුවන්. සබරගමුවේ සංචාරය කරන ඔබ නැරබියම යුතු තැනක් තමයි සමන් දේවාලය කියන්නේ. මේ දේවාලය හැදුන විදිහ ගැන ජනප්‍රවාද තියෙනවා. එහෙනම් ඒ ජනප්‍රවාදය අහලම ඉමුකො.


දඹදෙණි යුගයේ රජකම් කරපු දෙවෙනි පරාක්‍රමභාහු එහෙමත් නැත්නම් පණ්ඩිත පරාක්‍රමබාහු (කවි සිළුමිණ වැනි උසස් සිංහල කෘති රචනා කල නිසයි එතුමාට පණ්ඩිත පරාක්‍රමභාහු කියන්නේ) රජතුමාගේ සෙනෙවියෙක් හිටියලු ආර්ය කාමදේව කියලා. දිනක් මේ ආර්ය කාම දේව කියන සෙනෙවියා රත්නපුර ප්‍රදේශයේ මැණික් ගරන්න ආවලු. රත්නපුරේ කියන්නේ සමන් දෙවියන්ගේ අඩවියනේ. ඉතින් මේ සෙනවියායි එයාගේ පිරිසයි සමන් දෙවියන්ට භාරයක් උනාලු. තමන්ට මැණික් හම්බවුනොත් එවකට තිබුන පරන්ගි බලකොටුව උඩ සමන් දෙවියන්ට දේවාලයක් කරවනවා කියලා. ඉතින් එහෙම භාර උන මේ සෙනවියා එයාගේ පිරිසත් එක්ක මැණික් ගරන්න ආවලු. එයාලට කැකිරි ගෙඩියක් තරම් ලොකු මැණිකක් ලැබුනා කියලයි පොත පතේ සදහන් වෙන්නේ.

ඉතින් මේ සෙනවියා සමන් දෙවියන්ට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ඒ බලකොටුව, සමන් දෙවියන්ට කැප කරපු දේවාලයක් කලාලු. අදටත් තියෙන්නේ ඒ දේවාලය තමයි.

නමුත් මේ කතාව විසංවාදයකට තුඩු දෙන කරුණු කීපයක්ම තියෙනවා. එකක් තමයි පරංගි ලංකාවට ආවේ ක්‍රි.ව 1500 ගණන් වල නේ. නමුත් මේ සමන් දෙවොල ඉදි කරලා තියෙන්නේ ක්‍රි.ව 1200 ගණන්වල. ඉතින් මේ දේවාලය පරංගි බල කොටුවක ඉදි කරපු කතාව පිළිගන්න ටිකක් අමාරුයි. අනිත් කරුණ තමයි දේවාලය ඉදිරිපිට තියෙන කැටයම. එමගින් කියවෙන්නේ පෘතුග්‍රීසි බලපෑම් කන්ද උඩරට රාජසිංහ රජතුමාගේ කාලයටත් කලින් ඉදන් යම් තාක් දුරට පැවතුනා කියන එකයි. එහෙම බලනකොට පරංගි බලකොටුවක් උඩ මේ දේවාලය ගොඩ නැංවුවා කියන එකත් පිලි ගන්න වෙනවා. පහලින් තියෙන්නේ දේවාලයේ ඉදිරි බැම්මේ තියෙන පරංගි සෙබලෙක් සිංහලයෙක්ව පාගාගෙන ඉන්න කැටයම.


මේ කැටයම තව මතයකට උරුමකම් කියනවා. ඒ මතය නම් ,මේ කැටයමෙන් කියවෙන්නේ සිංහල හේවායෙක් පරංගි සෙබලෙක්ව පගා ගෙන ඉන්නවා කියලයි. සිංහල සෙබලුන්ගේ වීරත්වය හා ස්වාධීනත්වය මේ කැටයමෙන් පිලිබිඹු වෙනවා කියලයි පුරාවිද්‍යා විද්වතුන්ගේ මතය.

ඉස්සර අපි එහෙ යනකොට දේවාලය භාර බස්නායක නිලමේ විදිහර වැඩ කලේ ප්‍රදීප් නිලංග දෑල බංඩාර මහතායි. දැන් නම් ඉන්න බස්නායක නිලමේ කවුද කියලා දන්නේ නෑ. හැම අවුරුද්දකම ඇසල උත්සවයට අලංකාර පෙරහැරක් යනවා.

කොහොම නමුත් කළු ගං මිටියාවතේ කළු ගඟේම අතු ශාඛාවක් වෙච්ච වේ ගං ඉවුරේ තියෙන මේ පුදබිම රත්නපුර නගරයට එක් කරන්නේ අපූරත්වයක්.

පහල රුපය සමන් දෙවියන් ගේ රුව යැයි මතයක් තියෙනවා.මෙම සමන් දෙවියන්ගේ රුව සහිත චිත්‍රය සමන් දේවාලයේ අදටත් දකින්න ලැබෙනවා.

01 November 2010

තරු ගැන තොරතුරු


පසුගිය සති අන්තයේ ග්‍රහලෝකාගාරේ ගියා. පුංචිම කාලේ ගියට පස්සේ ගියේම නැහැනේ. හැමදාම වැඩට යද්දි ග්‍රහලෝකාගාරේ ඉස්සරහින් බස් එකේ යනවා. ඉතින් මට හිතුනා චුට්ටක් ගිහින් බලන්න. ගෙදර කට්ටියත් ලැහැස්ති කරන් මේ සෙනසුරාද (2010-10-30) ගියා.

මුලින්ම කියලා ඉන්නම්කෝ ග්‍රහලෝකාගාරේට යන විදිහ. සමහර විට ඔයාලා දන්නවත් ඇති. කොලඹ කොටුවෙන් හරි බොරැල්ලෙන් හරි බස් එකේ ගිහින් කොලඹ කැම්පස් එක ලගින් බැහැලා ස්ටැන්ලි විජේසුන්දර මාවතේ ජාවත්ත පැත්තට ටික දුරක් ගියාම ග්‍රහලෝකාගාරේට එන්න පුලුවන්.


ග්‍රහලෝකාගාරේ ගියාට පස්සේ තරු රටා පෙන්වනවනේ .ඔය තරු රටා පෙන්වද්දි මට ඉස්සර අහපු කතාවක් මතක් උනා. සමහර තරු රටා වලට නම් දාලා තියෙන්නේ ග්‍රීක පුරාවෘත්ත වලට අනුව ලු. අන්න එහෙම අහපු පුරාවෘත්තයක් තමයි මං කියන්න යන්නේ. එහෙනම් ඒ කතාවත් අහලා ඉමුකෝ.

අතීතයේ ග්‍රිසයේ රූමත් තරුණියන් හත් දෙනෙක් හිටියලු. ඒ ගොල්ලෝ කැලේ ගමන් කරද්දී ඔරායන් එහෙමත් නැත්නම් දඩයක්කාරයා ඒ අය පස්සේ පැන්නුවලු. කොහොමින් කොහොමහරි දඩයක්කාරයාගෙන් බේරුන මේ තරුණියෝ සීසර් නම් අධිරාජයාට මේ බව සැල කලාලු. ඉතින් මේ සීසර් අධිරාජයා මේ තරුනියන්ව බේර ගන්නත් ඒ අයගේ රූමත් කම හැමෝටම දැක බලා ගන්නත් කුමාරියෝ හත් දෙනාව අහසේ තරු හතක් කලාලු. අපි රැ අහස බලනකොට හත්දින්නත් තරු කියලා අහසේ පායන්නේ ඒ තරු ලු.

ඊට පස්සේ අර ඔරායන් එහෙමත් නැත්නම් දඩයක්කාරයාත් එයාගේ හිතේ ඇතිවුන කල කිරීමට අර හත්දින්නත් තරු ලගම තරු රටාවක් වෙලා අදටත් ඉන්නවා ලු. ඒ තරු රටාවක් වෙච්ච ඔරායන් තමයි අපි දඩයක්කාරයා තරු රටාවෙන් හදුනා ගන්නේ.

ඊට පස්සේ අර කුමාරියන්ගේ ආරක්ෂාවට සීසර වෘෂභ නම් ගවයෙක් ව යැවුවලු. ඒ වෘෂභ නම් ගවයා කුමාරියන් වෙච්ච හද්දින්නත් තරු රටාවයි ඔරායන් තරු රටාව වෙච්ච දඩයක්කාරයායි අතරට වෙලා දඩයක්කාරයා දෙස බලාගෙන ඉන්නවා ලු. ඔය මං කිවුවේ හත්දින්නත් තරු වලයි ඔරායන් තරු රටාවෙයි වෘෂභ රාශියෙයි පුරාවෘත්ත කතාව. ඒ වගේ කතාවක් තියෙනවා සිංහ රාශියටත් . ඒකත් එහෙනම් අහන්නකෝ.

නෙමියා කියන ග්‍රීක නගරය ආසන්නව ගුහාවක දරුනු සිංහයෙක් හිටියලු. ඒ සිංහයා නගරයේ මිනිස්සු මරා දමන හින්දා ඒ නගරයේ වැසියෝ හිටියේ හරිම බයෙන් ලු. දවසක් හර්කියුලිස් කියන ග්‍රීක වීරයා මේ නගරයට ආවලු. ඊට පස්සේ නගර වැසියෝ මේ සිංහයාගෙන් නගරය බේරා දෙන්න කියලා ඉල්ලා සිටියලු. ඉතින් මේ වීරයා අර සිංහයාව මරලා නගරය බේර ගත්තලු. ඉතින් මේ කරපු වීර ක්‍රියාව සිහිවෙන්න කියලා අර සිංහයාව අහසේ තරු රටාවක් කලාලු.

ඔහොම පුරාවෘත්ත ගොඩක් තියෙනවා තරු රටා ගැන. ඒවත් ඉදිරියේදී කියන්නම්. ග්‍රහලෝකාගාරේ ගියාට පස්සේ තමයි තේරුනේ ඉස්සර බලපු දර්ශනය ඒ තරමටම වෙනස් වෙලා නෑ කියලා.මං මුලින්ම ග්‍රහලෝකාගාරේ ගියේ මීට අවුරුදු 12කට විතර ඉස්සර. ඉස්සර හොයාගත්තු තොරතුරුමයි. අලුත් වෙලා නෑ. ඉස්සර මුද්‍රණය කරපු ටිකට්මයි. ටිකට් එකේ පිටිපස්සේ තියෙන තොරතුරු වෙනස් වෙලත් නෑ. මං ඒකට චූටි නිදසුනක් කියන්නම්. දර්ශනයේ නිවේදිකාව කියනවා බ්‍රහස්පතිටයි සෙනසුරුටයි චන්ද්‍රයන් පිලිවෙලින් 60ක් හා 63ක් ඉන්නවා කියලා. නමුත් ටිකට් එකේ තියෙන විස්තරේට අනුව කියන්නේ පිලිවෙලින් 22ක් හා 23ක් කියලයි. ඉතින් මං කියන්නේ මේ තොරතුරුත් කාලීනව වෙනස් වෙන්න ඕනෙයි කියලා.

පිට රටවල නම් මේවගේ ස්ථානවල තොරතුරුත් කාලානුරූපීව වෙනස් වෙනවා. නමුත් අපේ රටේ එහෙම නෑ. මං නම් හිතන්නේ මේකට මූලික හේතුව අපේ මිනිස්සුන්ට ඕන කමක් නෑ මේ පිලිබද. ඔහේ බලන්නන් වාලේ දර්ශනය නරඹන එක විතරයි කරන්නේ කියලා. දවසක ග්‍රහලෝකාගාරේ ගියොත් තේරෙයි. වරුවක් ගත කරලා එන්න හොද තැනක්. විනෝදය සමග දැනුමත් ලැබෙන තැනක්.

ලිපිනය - ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය , ස්ටැන්ලි විජේසුන්දර මාවත . කොළඹ 7

දර්ශන වාර - සතියේ සෑම දිනකම උදේ 10ට හා සවස 2ට පමණි. (ඉරිදා හා සදුදා දිනවල දර්ශන නොපවැත්වේ. )